ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ඇතුළු කණ්ඩායම ජනපති හමුවෙයි……

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා පැවසීය.

ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය මුදල් යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ  ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරමින් රටේ ඉදිරි ගමනට සහාය ලබා දෙන බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බලශක්ති ස්ථායීතාව වෙනුවෙන් හරිත බලශක්තිය, හරිත ප්‍රවාහන පහසුකම් ආදි ක්ෂේත්‍රයන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් ඉදිරි සහාය ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

පොලී අනුපාත පහත හෙළීම, උද්ධමනය පාලනය ඇතුළු ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ලබා ඇති ප්‍රගතිය මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික ආර්ථිකයේ ප්‍රතිලාභ රටේ සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාම රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

එහිදී රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කරමින් කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවාවක් ඇති කිරීමේ සැලසුම්ද පැහැදිලි කළ ජනාධිපතිවරයා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයිමේදී කෘත්‍රීම බුද්ධිය සහ ඩිජිටල්කරණය පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද පැවසීය. ඒ අනුව ජනතාවට සේවා සැපයීමේදි ගම සහ නගරය අතර දුරස්ථභාවය අවම කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිදු කෙරෙන ගනුදෙනු පහසු කර ගැනීමේ හැකියාවද සාකච්ඡාවට ලක් විය.

පිරිවැය අවම වූ විදුලි සැපයුමක් සහිත කලාපයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා විදේශ ආයෝජන කැඳවා ගැනීමේදී දත්ත මධ්‍යස්ථානයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත්,  කෘෂිකර්ම, ධීවර ආදි ක්ෂේත්‍රයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා සැලසුම්සහගත වැඩපිළිවෙළක් රජය සතුව තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙන නව ප්‍රතිසංස්කරණ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කළේය.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්. අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රාජ්‍ය ව්‍යාපාරවලින් ලද රු. මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරයට භාරදෙයි….

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරවලින් ලද රුපියල් මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරය වෙත භාරදී තිබේ.

අද (07) දින පාර්ලිමේන්තුවේ දී කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට මෙම ලාභාංශය නිල වශයෙන් භාර දී ඇත.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශවලින් කොටසක් මෙලෙස භාරදුන් බව සඳහන්ය.

ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් ආයතනයේ වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල මහතා රුපියල් මිලියන 500ක මුදලක් පසුගිය මාස 9 කාලයේදී ලැබූ ලාභාංශවලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුනි.

මෙම වර්ෂය අවසාන වන විට රුපියල් බිලියන 5ක ආදායම් ඉලක්කවලට යාමට උත්සාහ කරන බවද වැඩබලන සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

BCC Lanka Limited ආයතනය වෙනුවෙන් එහි සභාපති H.A. ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා රුපියල් මිලියන 50ක් තම ආයතනයේ ලාභාංශවලින් කොටසක් ලෙස භාණ්ඩාගාරයට ලබාදුන් අතර එහි විශේෂත්වය වන්නේ BCC ආයතනය දිගින් දිගටම පාඩු ලැබූ නිසා ඈවර කිරීමට නියමිතව තිබූ ආයතනයක් වීමය.

එලෙසින් ම මෙම ආයතනය මේ වන විට මෙම වර්ෂය තුළ මිලියන 105 ක ස්ථාවර තැන්පතු රැස් කර ඇත.

ජාතික ලුණු සමාගම වෙනුවෙන් එහි සභාපති ගයාන් වෙල්ලාලගේ මහතා රුපියල් මිලියන 100ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබාදුන් අතර වර්ෂය මුල් භාගයේදී රට ලුණු හිඟයකට මුහුණ දී තිබූ දුෂ්කර අවධියක් ගතකළ තත්ත්වයක ජාතිය ලුණු සමාගම ඉතිරි මාස 6 ක කාලය තුළ තම සමාගම උපරිම තලයකට රැගෙන සමත් වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා ප්‍රකාශ කළේ ඉතිහාසයේ උපරිම නිෂ්පාදන ආදායමක් මෙම වර්ෂය අවසානයේ ළඟාකර ගත හැකි වනු ඇති බවයි.

ලංකා පොස්පේට් ආයතනය වෙනුවෙන් මෙම අවස්ථාවට එම ආයතනයේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා සහභාගි වූ අතර එතුමා ඉදිරි සතිය තුළ රුපියල් මිලියන 100ක් භාණ්ඩාගාරය වෙත ලබාදෙන බවත් ඉතිරි ලාභාංශ තම ආයතනයේ දියුණුව වෙනුවෙන් භාවිතා කරන බවත් ප්‍රකාශ කළේය.

ලංකා ග්‍රැෆයිට් ආයතනය වෙනුවෙන් එහි සභාපති P.V.A හේමලාල් මහතා මෙම අවස්ථාවට සහභාගි වූ අතර එතුමන් රුපියල් මිලියන 7.4 ක මුදලක් භාණ්ඩාගාරයට මීට පෙර ලබා දී ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතනය භාණ්ඩාගාරයට මුදල් ලබා දී තිබුණේ වසර 14කට පසු වීමයි.

මෙම ලබාදුන් මුළු මුදල්වල එකතුව රුපියල් මිලියන 757.4 කි.

මෙම එකතුව අර්ධ වාර්ෂික ලාභාංශයකින් ඉදිරිපත් කළ මුදලක් වන අතර ඉදිරි කාලය තුළදී පූර්ණ ලාභාංශ තුළින් මුදල් ලබාදීමට හැකියාව පවතින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික යථාවත් වීම තවමත් අසම්පූර්ණයි – ලෝක බැංකුව…..

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මේ දක්වා අසම්පූර්ණව පවතින බවත්, ආර්ථික වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතින බව ද ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන කිරීම් (SRI LANKA DEVELOPMENT UPDATE) පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කරමින් ලෝක බැංකුව මේ බව සඳහන් කරයි.

මෙම වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ඉක්මන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වඩාත් කාර්යක්ෂම, වඩා හොඳින් ඉලක්ක කරගත් රාජ්‍ය වියදම් කිරීම් අවශ්‍ය වනු ඇති බවය.

අද (07) නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම් නවතම වාර්තාවට අනුව 2025 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 4.6%ක වර්ධනයක් වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර සිටී.

කෙසේවෙතත් මෙය 2026 වසරේ දී 3.5% ක් දක්වා මන්දගාමී විය හැකි බව ලෝක බැංකුව පෙන්වා දේ.

රන් මිලේ දැනෙන වෙනසක්….

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.290,500ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 283,000ක් ලෙසය.

මේ අතර සෙනසුරාදා රු. 306,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 314,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ජයග්‍රාහී මාවතක…..

ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට 5%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.

එහිදී කොසැක් මහත්මය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවය.

තවදුරටත් අදහස් දැක්වූ කොසැක් මහත්මිය,

“ශ්‍රී ලංකාවේ පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් මට කිව හැකි දේනම් එය අඛණ්ඩව ආකර්ෂණීය ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. උද්ධමනය තවමත් අඩු මට්ටමක පවතින අතර, රජයෙන් ආදායම් රැස්කිරීම වැඩිදියුණු වෙමින් පවතිනවා. 

ඒ වගේම ජාත්‍යන්තර සංචිත එකතු වෙමින් පවතිනවා. 2024 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය කැපී පෙනෙන ජයග්‍රහණයක්. 

අයවැයේ ආදායම්-දළ දේශීය නිෂ්පාදිත අනුපාතය 2022 පැවති 8.2% සිට 13.5% දක්වා වැඩිදියුණු වෙලා තිබෙනවා. එය සැලකිය යුතු වැඩිවීමක්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝදුරට සම්පූර්ණ වෙලා තිබෙනවා. 

සමස්තයක් ලෙස වැඩසටහන් කාර්ය සාධනය ඉතා ශක්තිමත් බව කිව හැකියි. රජය විස්තීර්ණ අරමුදල් වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින බවත් කිව හැකියි. 

විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි පස්වන සමාලෝචනය පැවැත්වීම සඳහා අපේ කණ්ඩායම දැන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව පස්වැනි සමාලෝචනයේ කාලවකවානු පිළිබඳව අපේ කණ්ඩායම ඉදිරියේදී දැනුම් දේවි” ඇය පවසයි.

ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 22,000 අතික්‍රමණය කරයි…

දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට සියලු කොටස් මිල දර්ශකය පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

අද පෙරවරු 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ.

ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56ක් ලෙසින් සටහන්ව තිබුණි.

ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්….

මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දී තිබේ.

ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් නොවෙනස්ව පවතී.

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ….

මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කි.

මාස 08ට ඩොලර් බිලියනයක වාහන ගෙන්නලා…

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී, මෙරටට වාහන ආනයනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,007.5ක වියදමක් දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

මෙහිදී මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වන අතර එය ඩොලර් මිලියන 255.7ක් වේ.

2025 වසරේ මේ දක්වා එක් එක් මාසය තුළ දී මෙරටට වාහන ආනයනය සඳහා දරා ඇති වියදම පහතින් දැක්වේ.

(ඩොලර් මිලියන වලිනි)

ජනවාරි  – 29.1

පෙබරවාරි – 22.3

මාර්තු – 54.0

අප්‍රේල් – 145.6

මැයි – 125.2

ජූනි – 169.6

ජූලි – 206.0

අගෝස්තු – 255.7

දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය “ලංකා සතොස exclusive” බදුල්ල නව මෙගා ශාඛාව විවෘත කරයි..

දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළෙඳ සංකීර්ණය “ලංකා සතොස exclusive” බදුල්ල නව මෙගා ශාඛාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 29 වන දින විවෘත කරන ලදි.

වර්ග අඩි 14,000 ක වපසරියකින් යුත් මෙම ලංකා සතොස නව මෙගා ශාඛාව තුළ ආපන ශාලාව, බේකරි නිෂ්පාදන අලෙවි සැල, ධාන්‍ය අලෙවිසැල, කරවල අලෙවිසැල, මාංශ අලෙවිසැල, නැවුම් පළතුරු යුෂ අලෙවිසැල, නැවුම් එළවළු සහ පළතුරු අලෙවිසැල, අක්ෂි දෘෂ්ටි විශේෂඥ ස්ථානය (ඇස් පරීක්ෂා කිරීමේ ස්ථානය), ඔසු සැල, බැංකු ශාඛා, ඇඳුම් විලාසිතාගාරය සහ තවත් වෙළෙඳ සැල් ගණනාවකින් ද සමන්විත වේ.

එමෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ගොවීන් වෙනුවෙන් ද මෙහි අලෙවි සැල් නිර්මාණය වී ඇති අතර රජයේ මූලික අරමුණක් වන පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ පොළ තුළ සුලභ කිරීම සහ අවම මිලක් යටතේ එම භාණ්ඩ පාරිභෝගික ජනතාවට ලබා දීම වෙනුවෙන් නවීන වෙළෙඳ පොළ තත්වයන් අනුව පාරිභෝගික ජනතාවට අවශ්‍ය සියලු පාරිභෝගික ද්‍රව්‍ය එකම වහලක් යටින් මිලදී ගැනීමට හැකිවන පරිදි මෙම ලංකා සතොස exclusive ශාඛාව ඉදි කර තිබේ.

එමෙන්ම මෙම ලංකා සතොස exclusive බදුල්ල මෙගා ශාඛාව විවෘත කිරීමට සමගාමීව, බදුල්ල ප්‍රදේශයේ බෝගහකුඹුර ලංකා සතොස සුපිරි වෙළෙඳ සැල විවෘත කිරීමේ කටයුත්ත ද සිදු විය. ඒ අනුව බෝගහකුඹුර ප්‍රදේශයේ ජනතාවට ද සුපිරි වෙළෙඳ සැලක අවශ්‍යතාවය ලංකා සතොස ආයතනය විසින් ඉටු කර දී ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් සංචාරක නියොජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් පිරිසක් ද, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, බදුල්ල මහා නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඇතුලු බදුල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන් සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා, ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී ඩන්ස්ටන් මාලගේ මහතා ඇතුලු ලංකා සතොස ආයතනයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ජාතික සතොස සභාපති කෝසල විල්බාව මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු විය.