VAT සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 98 ක් හා විපක්ෂව ඡන්ද 41 ක් හිමි වූ බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.

බිත්තර මිල යළිත් ඉහළට

වෙළඳපොළේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව තොග වෙළඳුන් විසින් බිත්තර තොග සැඟවීම බිත්තර මිල ඉහළ යාමට හේතුවී ඇතැයි ශ්‍රි ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන්නේ.

ඇතැම් තොග වෙළදුන් බිත්තර අළෙවි කරන්නේ රුපියල් 50 ඉක්මවු මිලකට වුවද ගොවිපළ තුළ බිත්තර අළෙවි වන්නේ රුපියල් 40ත් 42ත් අතර මිලකට බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ.

බිත්තර වැඩි මිලට අළෙවි කරන කූඨ වෙළඳුන්ගෙන් බිත්තර මිලදී නොගැනීමට පාරිභෝගිකයින් වගබලා ගතයුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 14 වන දිනය අද

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (07) 14 වන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අද දිනයේ විදේශ කටයුතු හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

බදු ආදායම ඉහළ නංවා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක විය යුතුයි – මහින්දානන්ද

බදු ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක විය යුතු බව ජ‍ාතික ආර්ථික සහ භෞතික සැලසුම් කමිටුවේ සභාපති මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයා පවසා සිටිනවා.

මෙම වසර තුල රුපියල් බිලියනයකට වැඩි ආනයනයන් සිදුකල පුද්ගලයන් 712 දෙනෙක් අතරින් 15% ප්‍රමාණයක් නිසි පරිදි ආදායම් බදු ගෙවා නොමැති බව එම කමිටුවේදී හෙළිවුණා.

එසේම සමහර වී මෝල් හිමියන්ගේ රාජ්‍ය බැංකුවල ඇති ගිණුම්වලට රුපියල් බිලියන 100 ක පමණ මුදල් බැරවී ඇති බවත්, නමුත් සත පහක් හෝ බදු ගෙවා නැති බවත් කමිටු සභාපතිවරයා පවසා සිටියා.

ආදායම් බදු ලිපිගොනු ප්‍රමාණය 2022 ට සාපේක්ෂව 2023 දී අඩුවීම ගැනද, ඉඩම් විකිණීමෙන් රජයට එකතු කරගත හැකි බදු ප්‍රමාණය ගැනද, එමෙන්ම ප්‍රාග්ධන ලාභ බද්ද හා සුරාබදු අයකර ගැනීම ගැනද ඇමතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු කළා.

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක්

ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව Reuters පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් මෙය ලැබීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මාළු, චීස්, බටර් ඇතුළු භාණ්ඩ කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව භාණ්ඩ කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොකු ළුෑණු, සැමන්, යෝගට්, බටර්, ඇපල්, දොඩම්, මිදි, රටඉඳි ඇතුළු භාණ්ඩ වර්ග කීපයකට 2023 දෙසැම්බර් 01 දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා බල පැවැත්වෙන ලෙස මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අය කෙරෙන බව සඳහන්.

අදාල ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයට බදු පැනවෙන ආකාරය පහතින්.

* ලොකු ළුෑණු 1Kg සඳහා රු. 10/-

* යෝගට් සහ බටර් 1Kg සඳහා රු. 2,000/-

* චීස් 1Kg සඳහා රු.1,500/-

* රට ඉඳි 1Kg සඳහා රු. 200/-

* දොඩම්, මිදි, ඇපල්, අනිකුත් පළතුරු 1Kg සඳහා රු. 600/-

* සැමන් සහ මාළු 1Kg සඳහා රු. 200/-

ඩීසල් මිළ අඩු කළත් බස් ගාස්තු අඩු කරන්න බැහැ – ගැමුණු

ඩීසල් මිළ අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව පසුගිය මාස කිහිපයකදී ඩීසල් රුපියල් 15 කින් වැඩි වූ බවත් එම අවස්ථාවේදී බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකළ බවත් එම වැඩිවූ මිල හා සංසන්දනය කිරීමේදී රුපියල් 12 ක අඩුවීමක් පමණක් සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම අඩුවීම බස් ගාස්තුවට බලපෑමක් සිදු නොවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට එකඟතාව හිමිවීම ගැන IMF ප්‍රකාශයක් නිකුත් කරයි

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය දෙන රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ඇතිකරගත් ප්‍රතිපත්තිමය ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට අවශ්‍ය මාර්ගය පෑදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් පවසනවා.

දෙසැම්බර් මැද භාගය වන විට විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය භාර ගැනීමටත්, ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණය හිමි රටවල් කණ්ඩායම ප්‍රතිපත්තිමය වශයෙන් ඊයේ (29) එකඟතාව පළකර තිබුණා.

පොලී අනුපාත තවදුරටත් පහත දමයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පහත දැමීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 9%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 10%ක් ලෙසත් අඩු කිරීමට  මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 10%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 11%ක් ලෙසත් පැවතුනා.

අදාළ නිවේදනය පහතින්.

65600a7c72aa2pdf_page_0

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය අද

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (24) තෙවන දිනටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඊයේ (23) දිනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට ඡන්දයක් පැවති අතර එහිදී එයට පක්ෂව ඡන්ද 76 ක් හා විපක්ෂව ඡන්ද 08 ක් හිමිවුණා.