ශ්‍රී ලංකාව සහ UAE ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩිඡන්ද 163කින් සම්මතයි….

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය වැඩි ඡන්ද 163කින් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

එනම් සුවිශේෂ බහුතර ඡන්දයකින් සම්මත වූ බව කථානායකවරයා විසින් සභාවට දැනුම්දුනි.

යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවූ අතර කිසිවෙකුත් ඡන්දය දීමෙන් වැළකී සිටියේද නැත.

2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අනුමැතිය…..

2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පසුගිය ජූලි 1 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති 2026 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

ඒ අනුව එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය  සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙරට රන් මිල අද දිනය තුළ තෙවරක් ඉහළට…..

මෙරට රත්‍රං මිල අද (08) දිනය තුළ රුපියල් 5,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද දිනය තුළ තෙවන වරට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 271,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 266,400ක් ලෙසය.

මේ අතර සෙනසුරාදා රු. 288,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද තෙවන වතාවට රු. 293,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද උදෑසන සිට කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි තෙවතාවකින් ඉහළ යෑමද විශේෂත්වයකි.

වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත.

2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 5.116ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 19.3%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම වසරේ මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවය.

ඒ අනුව, 2025 මුල් මාස අට තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.03ක් ලෙස වාර්තා වන අතර එය 2024 මුල් මාස අට තුළ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 1.88ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 7.8%ක වැඩිවීමකි.

වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩි ප්‍රමාණයක් රජය මිලදී ගනී….

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවය.

අම්පාර දිස්ත්‍රිකයේ සියයට 85ක් මේ වනවිට අස්වනු නෙලා අවසන් වී ඇති අතර අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වී මිලදි ගැනීම ද තවදුරටත් සිදුවන බව ඔහු කියා සිටියේය.

වී මිලදී ගැනීම සඳහා පළමු අදියර යටතේ රජය මඟින් රුපියල් මිලියන 60,000ක මුදලක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් මිලියන 55,000ක මුදලක් ගොවීන් වෙන ගෙවා අවසන් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සහල් උපරිම මිල උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි පියවර….

පාරිභෝගික කටයුතු අධිකාරිය 2025 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා සිදු කළ වැටලීම්වලින් මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු කරන ලද නඩු හරහා රුපියල් මිලියන 211ක දඩ මුදල් නියම කර තිබේ.

එහිදී දිවයින පුරා සිදු කර ඇති සමස්ත වැටලීම් ප්‍රමාණය 14,682කි.

ඒ අනුව සහල් වෙළඳපොළ තුළ වැටලීම් 2,800ක් සිදු කර ඇති අතර එයට සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 915ක් ද ඇතුළත් වේ.

මෙම සහල් වැටලීම් සම්බන්ධයෙන් අධිකරණ මගින් රුපියල් මිලියන 95ක දඩ මුදල් පනවා ඇත.

සහල් ඉහළ මිලට විකිණීම පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ බරපතල වරදක් වන අතර වරදකරුවන්ට අවම වශයෙන් රුපියල් 100,000 සිට රුපියල් 500,000 දක්වා දඩයක් හෝ මාස හයක සිර දඬුවමක් හෝ මේ දෙකම හෝ නියම කළ හැකියි.

සමාගම් සඳහා, අවම දඩය රුපියල් 500,000ක් වන අතර, අධිකරණයට රුපියල් මිලියන 5ක් දක්වා දඩ මුදල් පැනවීමට බලය තිබේ.

සහල් වෙළඳාමේ නියැලී සිටින සියලුම පාර්ශ්වකරුවන් නීතියට අනුකූලව කටයුතු කරන ලෙසත්, ගැසට් කර ඇති මිල ගණන් පවත්වාගන යාම සදහා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලා සිටී.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය…..

කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කර තිබේ.

පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව සංශෝධන සහිතව මෙම පනත් කෙටුම්පත සම්මත විය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත ලෙස බලාත්මක වනු ඇත.

මෙම පනත සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; (44 වන අධිකාාරය වූ) තුරඟ තරග මත ඔට්ටු ඇල්ලීමේ ආඥාපනත, (46 වන අධිකාරය වූ) සූදු ආඥාපනත සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත ඉවත් කිරීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්තය නියාමනය කිරීම සඳහා, සූදු මෙහෙයුම් සඳහා තනි නියාමන ආයතනයක් ලෙස සූදූ ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට මෙම පනත මගින් ප්‍රතිපාදන සලසා ඇත.

මෙම යෝජිත අධිකාරිය, නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ මාර්ගගත හා අක්වෙරළ සූදු ක්‍රීඩා මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව බලාත්මක කළ හැකි, සමාජ වගකීම් සංග්‍රහයන් නිකුත් කිරීමේ වගකීම හා පුළුල් විෂය පථයක් සහිත ස්වාධීන නියාමකවරයෙකු ලෙස ක්‍රියා කරනු ඇත.

BYD වාහන 506ක් මුදා හැරීමට රේගුව අධිකරණය හමුවේ එකඟවෙයි

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.

අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණි.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට කාර්යසාධක බළකායක්….

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.

සංචාරක කර්මාන්තය නඟාසිටුවීමත්, මෙරට ආර්ථිකයට ඍජු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කර ගනිමින් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමට තීරණය කළ බවත්, මෙම බලකාය මගින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට අදාළ තීන්දුතීරණ ගැනීමට හැකි බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

සංචාරක ප්‍රවර්ධන කාර්යසාධක බලකායේ පළමු සැසිය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (02) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම, ඒ සඳහා අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය ආයතන ඒකාබද්ධ රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීම, සංචාරකයන් මුහුණ දෙන ගැටලු, සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් මුහුණ පා ඇති ගැටලු සම්බන්යෙන් මෙහිදී සාකච්ඡා විය.

ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරක ඍතුව සාර්ථක කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්යෙන් සියලුම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික කර්මාන්තකරුවන් සමඟ ඉදිරි සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානයට ලක්විය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්  කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් යන මහත්ම මහත්මීහු, අමාත්‍යාංශ නිලධාරීහු සහ සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, EKHO හෝටෙල්ස් සහ රිසෝට්ස් හි උප සභාපති නිහාල් මුහන්දිරම් ඇතුළු නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලබන වසරේ දී රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු Online ක්‍රමයට – ජනපති…

ලබන වසර වන විට ජනතාව රජය සමඟ සිදු කරන සියලු ගෙවීම් සහ ගනුදෙනු කටයුතු මාර්ගගත ක්‍රම (Online) ඔස්සේ  සිදු කර ගැනීමට හැකි පහසුකම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වූ ඩිජිටල්කරණය මගින් මෙතෙක් කොළඹට සීමා වූ සියලු පරිපාලන කටයුතු ඈත පිටිසර ගම්මාන දක්වා විමධ්‍යගත කරමින් රජයෙන් ඉටු කර ගත යුතු කාර්ය ඉතා සමීපව ඉටු කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමිනි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.

මෙතෙක් යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ජනතාවට ආගමන හා විගමන සේවා පහසුකම් ලබා ගැනීමට ඉතා දිගු දුරක් ගෙවමින් උතුරු පළාතේ පිහිටි එකම ප්‍රාදේශීය කාර්යාලය වූ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත යාමට සිදු ව තිබිණි. උතුරු පළාතෙන් ඉදිරිපත් වන විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින්, ඒ සඳහා වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරිණි.

යාපනය ජනතාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තු සේවා සැපයීම ආරම්භ කිරීම සංකේතවත් කරමින් ගමන් බලපත්‍ර 03ක් නිකුත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අනතුරුව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරින් සමඟ හමුවකට එක් වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ජනතා අපේක්ෂා ඉටු කිරීමට නම් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් එක් ව වැඩ කළ යුතු බවයි.

තමන් වෙත පැවරී ඇති බලය ජනතා සුබසෙත උදෙසා යොදවන රාජ්‍ය නිලධාරින් උපරිමයෙන් ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන අතරම, එම බලය මුදල් වෙනුවෙන් යොදවන රාජ්‍ය නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, අද වන විට මෙරට සමස්ත රාජ්‍ය සේවකයන්ට රට වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට අවස්ථාව ලැබී ඇති බව සඳහන් කළේය.

රට ගොඩනැඟීමට නම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බවත්, ලොව දියුණු වූ සෑම රටකම දියුණුව පිටුපස ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අතර, යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library)  ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01)  පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ඒ අනුව යාපනය මහජන පුස්තකාලය සඳහා  jaffna.dlp.gov.lk වෙබ් අඩවිය හඳුන්වා දීම මෙහිදී සිදු කෙරුණු අතර මේ ව්‍යාපෘතිය මගින් යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

යාපනයේ ජනතාවගේ අභිමානයේ සංකේතයක් වු යාපනය මහජන පුස්තකාලය ආසියාවේ විශාලතම පොත් එකතුවකින් යුත් පුස්තකාලයක් වන අතර පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම දෙස් විදෙස් පර්යේෂකයන් ඇතුළු විශාල පිරිසක් දෛනිකව එය පරිශීලනය කරති.

යාපනය මහජන පුස්තකාලය සඳහා ඒකාබද්ධ පුස්තකාල කළමනාකරණ පද්ධතියක් සහ ස්මාර්ට් කාඩ් ප්‍රවේශ පහසුකමක් හඳුන්වා දීම සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා සහායක තාක්ෂණය ඇතුළත් විශේෂ ඒකකයක් හඳුන්වාදීම ද මෙහිදී සිදු විය.

මෙම ව්‍යාපෘතිය සඳහා 2025අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100කි.

ඊ-පුස්තකාල වැඩසටහන නිල වශයෙන් ආරම්භ කළ ජනාධිපතිවරයා එහි කියවීමේ ශාලාව සහ පොත් බැහැර දෙන අංශයේ නිරික්ෂණ චාරිකාවකද නිරත වෙමින් කාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, යාපනය නාගරික මහ කොමසාරිස්, යාපනය පුස්තකාලාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.