එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) 16වන සැසිවාරය පැවැත්වෙයි…..

 

ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) සමාරම්භක උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා  (20) දින සහභාගී විය.

ඔක්තෝබර් මස 20 වන දා සිට 23 වනදා දක්වා පැවැත්වෙන මෙම සමුළුව, එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන සමුළුව වන අතර, එහිදී වත්මන් ගෝලීය වෙළෙඳාම, මූල්‍ය, ආයෝජන, තාක්ෂණික ප්‍රවණතා සහ අභියෝග සාකච්ඡා කිරීම සඳහා සාමාජික රටවල් 195 ක රාජ්‍ය නායකයින්, වෙළෙඳ හා ආර්ථික අමාත්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්, නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයින්, සිවිල් සමාජ සංවිධාන, සංවර්ධන බැංකු, මූල්‍ය හා ගෝලීය වෙළෙඳ සංවිධාන වල නියෝජිතයින් සහභාගී වේ.

මෙය එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන අතර, එහිදී සාමාජික රටවල් 195 ක වත්මන් වෙළෙඳ හා සංවර්ධන ගැටළු තක්සේරු කරමින් ඉදිරි වසර හතර සඳහා ගෝලීය ප්‍රතිපත්තීන් සකස් කරනු ලබයි.

‘‘Shaping the future” යන තේමාව සමඟින් එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව මෙවර පැවැත්වෙන අතර මීට සමගාමීව පැවති G77 සහ චීන, අමාත්‍ය රැස්වීමට ද අමාත්‍යවරයා සහභාගී වූ අතර එහිදී අමාත්‍යවරයා,

“දේශගුණික බලපෑම් සහ ණය බරවල සිට ඩිජිටල් සහ ආර්ථික බෙදීම් දක්වා අප මුහුණ දෙන බහුවිධ අර්බුද ගෝලීය ආර්ථිකයේ ගැඹුරු අසමමිතීන් හෙළි කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා හා අවදානමට ලක්විය හැකි රටවලට, මෙම අභියෝග සඳහා හදිසි ප්‍රතිසංස්කරණ සහ සාමූහික විසඳුම් අවශ්‍ය වේ.

වෙළෙඳ හා සංවර්ධන උපාය මාර්ග හැඩගැස්වීමේදී සහ අපගේ ජාතික ප්‍රමුඛතා අනුගමනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති අවකාශය ආරක්ෂා කිරීමේදී UNCTAD හි කේන්ද්‍රීය කාර්යභාරය අපි නැවත තහවුරු කරමු. UNCTAD හි විශ්ලේෂණාත්මක හා තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

සියලු රටවලට නැගී එන අවස්ථාවන්ගෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගත හැකි බවත් සහතික කිරීම සඳහා වැඩිදියුණු කළ සහයෝගීතාවයේ සහ තාක්ෂණ හුවමාරුවේ අවශ්‍යතාවය ද අපි ඉස්මතු කරමු.

වඩාත් සාධාරණ, තිරසාර ගෝලීය ආර්ථික පිළිවෙලක් කරා – සහයෝගීතාවයෙන් සහ බෙදාගත් අරමුණකින් – අපි එක්ව ඉදිරියට යමු.”

සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදි.

එම රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවෙහි සංවාදය ආරම්භ වූ අතර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

‘‘ලෝකය බොහෝ අභියෝගවලට මුහුණ දෙන කාලයක අපි හමුවෙමු. සංවර්ධනය වෙමින් පවතින රටවල්, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා හා අවදානමට ලක්විය හැකි රටවල් පීඩනයට ලක්ව ඇත. COVID-19 වසංගතය, දේශගුණික විපර්යාස, ණය ගැටළු සහ ඉහළ යන ගෝලීය ආතතීන් අපගේ ආර්ථිකයන් වර්ධනය කර ගැනීමට සහ අපගේ ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමට අපට අපහසු කර ඇත.
නමුත් අපි මෙහි සිටින්නේ බලාපොරොත්තු සුන් කර ගැනීමට නොවේ. බහුපාර්ශ්විකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව තවමත් වැදගත් බව පෙන්වීමට සහ එයට විසඳුම් සෙවීමටයි.”

යනුවෙන් එම සංවාදයට එක් වෙමින් සිය ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි.

තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා, දුෂ්කරතා මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාව තවමත් බලාපොරොත්තු සහගතව UNCTAD සහ අපගේ සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතිව, අපට ශක්තිමත්ව යථා තත්ත්වයට පත් වීමට, හරිත ආර්ථිකයන් ගොඩනඟා ගැනීමට සහ අපගේ ජනතාවට වඩා හොඳ අනාගතයක් ලබා දිය හැකි බවට වූ විශ්වාසය අවධාරණය කරන ලදි.

ඒ අනුව අමත්‍යවරයා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි දී තවත් ද්වීපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද එක් වීමට නියමිත අතර 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව (UNCTAD) එළඹෙන 23 වන දා දක්වා පැවැත්වීමට නියමිතය…..

 

මෙරට රන් මිල රු 5,000කින් පහළට…..

මෙරට රන් මිල සෙනසුරාදා දිනයට සාපේක්ෂව රු 5,000කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 356,000ක් දක්වා පහළ ගොස් තිබේ.

සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 360,800ක් ලෙසය.

මේ අතර සෙනසුරාදා දිනයේ දී රු. 390,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 385,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

2025 පළමු මාස 9දී සෘජු විදේශ ආයෝජන ඇ.ඩො මිලියන 827ක් දක්වා ඉහළට…..

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතීන් හරහා සෘජු විදේශ ආයෝජන ගලා ඒම 2025 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ආයොජනයන් සඳහා ලබා ගන්නා ලද විදේශ වාණිජ ණය ඇතුලුව ඇ.ඩො.මිලියන 827 දක්වා ලඟා වූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOl)නිවේදනය කළේය.

එය 2024 අනුරූප කාලපරිච්ඡේදය හා සසඳන විට කැපී පෙනෙන  138% ක වැඩිවීමක් සනිටුහන් කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම ආයෝජන ගලා ඒම පහත පරිදි මූලාශ්‍ර හතරකින් සිදු වේ.

*කොටස් ප්‍රාග්ධනය – ඇ.ඩො.මිලියන 133යි
*නැවත ආයෝජනය කරන ලද රඳවාගත් ඉපැයීම් – ඇ.ඩො.මිලියන 132යි
*ආයෝජන සඳහා අන්තර් සමාගම් විදේශීය ණය ගැනීම් – ඇ.ඩො.මිලියන 231යි
*ආයෝජන සඳහා දිගුකාලීන විදේශ වාණිජ ණය – ඇ.ඩො.මිලියන 331යි

මෙම සෘජු විදේශ ආයෝජන ලැබීම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ 2025 දී අත්සන් කරන ලද ව්‍යපෘති ගිවිසුම් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 124ක් ලෙස ළඟාකර ගන්නා ලද අතර, ඉතිරිය පවතින ව්‍යපෘති විසින් නැවත ආයෝජනය කිරීම සහ පුළුල් කිරීම තුළින් උත්පාදනය කරන ලදී.

මෙම ප්‍රගතිය නව ආයෝජකයින්ගේ වර්ධනය වන විශ්වාසය සහ ශක්තිමත් ව්‍යාපාරික පරිසරයක් යටතේ තම මෙහෙයුම් පුළුල් කිරීමට පවතින ආයෝජකයින්ගේ අඛණ්ඩ කැපවීම යන දෙකම පිළිබිඹු කරන බව සඳහන් වේ.

මීට අමතරව, 2025 පළමු මාස නවය තුළ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති 163 කින් ඩොලර් මිලියන 326 ක දේශීය ආයෝජනයක් ද සිදු කරන ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මහ බැංකු අධිපතිට ගෝලීය ඇගයුමක්….

2025 World’s Best Bank සම්මාන උළෙලේ දී, ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් “A ශ්‍රේණියේ” සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනා තිබුණි.

විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්ව හමුවේ මහ බැංකුවට ලබාදුන් නායකත්වය ඇගැයීමක් වශයෙන් මෙම සම්මානය ඔහුට හිමිව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්, පසුගිය ඔක්තෝබර් මස 13 සිට 18වන දින දක්වා වොෂින්ටන් ඩී.සී.හි පැවති ලෝක බැංකු සමූහයේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2025 වාර්ෂික රැස්වීම් සඳහා එක් විය.

ඒ අතරවාරයේ පැවති 2025 වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙලෙස සම්මානයෙන් පිදුම් ලබා තිබුණි.

රේගුවේ සිරවී ඇති ලුණු තොග ප්‍රතිඅපනයනය කරන්නැයි ආනයනකරුවන්ට දැනුම්දීමක්….

ගැටළු සහගත තත්ත්වයන් හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින ලුණු මෙට්‍රික් ටොන් 23,500ක තොගයක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආනයනකරුවන් වෙත දැනුම් දී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

ලුණු ආනයනය කිරීමට අවසර ලබාදුන් කාලසීමාවෙන් පසු මෙරටට ගෙන්වන ලද හා ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු මතුවූ ලුණු තොගයක් මෙලෙස රේගුව විසින් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා දින ගණනාවක සිට කොළඹ වරායේ පවතින බව සඳහන් වේ.

රට තුළ ඇති වූ ලුණු හිඟයට විසඳුම් ලෙස ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ සඳහා රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට ද අවසර ලබාදී තිබුණි.

කෙසේවෙතත් ඒ සඳහා ලබාදී තිබූ කාලසීමාව පසුගිය ජුනි මස 10 දිනෙන් අවසන් වූ අතර එම දිනයෙන් පසුව මෙරටට ගෙන්වූ සහ ප්‍රමිතිය පිළිබඳ ගැටළු මතුවු ලුණු තොගයක් මෙලෙස රේගුවේ පවතින බව සඳහන් වේ.

ලුණු ආනයනයට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත දිනයෙන් පසු ආනයනය කරනු ලබන ලුණු තොග යළි ප්‍රතිඅපනයනය කළ යුතුව පවතින බැවින් මෙම ලුණු තොග ප්‍රතිඅපනයනය සඳහා පියවර ගන්නා ලෙස රේගු දෙපාර්තමේන්තුව ආනයනකරුවන් වෙත දැනුම් දී ඇත.

එම දැනුම් දීම අනුව ඔවුන් කටයුතු නොකරන්නේ නම් අදාළ ලුණු තොගය රාජසන්තක කර විනාශ කිරීමට කටයුතු කරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර ලුණු මෙට්‍රික් ටොන් 6,000ක තවත් නෞකාවක් ද නඩු කටයුත්තක් හේතුවෙන් මේ වන විට ත්‍රිකුණාමලය වරායේ රඳවා ඇති බව සඳහන් වේ.

ආනයනය සඳහා අවසර ලබාදුන් දිනයෙන් පසුව ගෙන්වන ලද මෙම ලුණු තොගය, දින වෙනස් කර රේගුවට ඉදිරිපත් කිරීමට ගත් උත්සහයක් හේතුවෙන් මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව රේගු දෙපාර්තමේන්තුව පැවසුවේය.

රන් මිල පහළට යයිද ?

මෙරට රත්‍රං මිල ඊයේ (17) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.

මේ අතර ඊයේ (17) දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

සංචාරක පැමිණීම ලක්ෂ 18 ඉක්මවයි…..

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉකුත් ඔක්තෝබර් 15වනදා වනවිට මෙරටට පැමිණි සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ.

එම සංඛ්‍යාලේඛන අනුව මෙම මාසයේ මුල් දින 15 තුළදී පමණක් සංචාරකයින් 75,657ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ සමග මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,801,151ක් දක්වා ඉහළ ගියේය.

දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ආසන්නයටම පැමිණ ඇත.

ඉන්දියාවෙන් මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන 396,274කි.

එමෙන්ම එක්සත් රාජධානිය (167,886), රුසියාව (125,950), ජර්මනිය (111,677) සහ චීනය (108,040) යන රටවලින් ලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පැමිණ ඇත.

ඊට අමතර ප්‍රංශය (90,250), ඔස්ට්‍රේලියාව (81,040), නෙදර්ලන්තය (53,922) හා අමෙරිකාව (50,027) යන රටවලින්ද පනස්දහස ඉක්ම වූ සංචාරකයන් මෙම වසරේ දී ශ්‍රී ලංකාව පැමිණ තිබේ.

එමෙන්ම ඉතාලිය (39,932), කැනඩාව (37,606), ස්පාඤ්ඤය (36,430), පෝලන්තය (36,389) යන රටවලින්ද සැලකිය යුතු සංචාරකයන් මෙරටට පැමිණ ඇත.

පසුගිය වසරේ දී ලක්ෂ 20 (2,053,465) ඉක්ම වූ සංචාරකයන් මෙරටට පැමිණ තිබුණි.

අවසන්වරට ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් වාර්තා වූ වසර වන්නේ 2018 වසරය.

එවර ලක්ෂ 23කට (2,333,796) වැඩි සංචාරකයන් පැමිණ තිබුණි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 සීමාව ඉක්මවා ඇත්තේ අවස්ථා 4කදීය.

එනම් 2016, 2017, 2018 හා 2024 යන වර්ෂයන්හිදීය.

ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලය අවසන් බව IMF කියයි…..

ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී සිටින්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දී තිබේ.

එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද දෙරණ වෙනුවෙන් නිව්යෝක් නුවර රැඳී සිටින ඉන්දීවරි අමුවත්ත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා

”අපි පියවරක් පිටුපසට බැලුවොත් ආර්ථික අර්බුදකාරී වාතාවරණයෙන් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාවට නැංවුවා. ඉතා ශක්තිමත් වර්ධනයක් එහි ප්‍රතිලාභ විදිහට දැන් හිමිව තිබෙනවා. පසුගිය වසරේ 5%ක වර්ධනයක්. මේ වසරේ එය 4.2%ක් වෙයි කියලා අපි ඇස්තමේන්තු කරලා තියෙනවා. ලබන වසරේ එය 3%ක් බවට පත්වීමේ විභවයක් පවතිනවා. මේ මොහොත් ලබාදිය හැකි ප්‍රමුඛම අවවාදය වෙන්නේ වඩා වැඩි ප්‍රතිලාභ අත්කරගැනීමට මේ වැඩපිළිවෙළ තවදුරටත් පවත්වාගෙන යාම වැදගත්. එවිට වර්ධනය පැමිණේවි. ඒ වගේම එය දිගින් දිගටම සිදුවෙයි. ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට  වැදගත් වෙන්නේ මොකක්ද කියලා කිව්වොත්,අයවැයේ ඇතිවිය හැකි අවදානම් අවම කිරීම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාව ප්‍රධාන භූමිකාවක් වෙනවා. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායන්ගේ ශක්‍යතාව පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. මේ ප්‍රතිලාභවල දිගුකල් පැවැත්මට එය අතිශය වැදගත්”

රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදාහැරීම ගැන අධිකරණයට දැනුම්දීමක්….

මෙරට දී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන කොන්දේසිවලට යටත්ව මුදාහැරීමට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා රේගුව අද (16) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබෙනමූලික අයිතිවාසිකම් පෙත්සම් 15ක් පමණ අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවීම සිදුවුණි.

එහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින මෙම නඩුකරවලට පාදකවන වාහන ආනයනකරුවන් විසින් සමාගම් ඇපකරයක් හෝ පුද්ගලික ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදාහැරීමට හැකියාව තිබෙන බව දැනුම් දුන්නේය.

ඊට අමතරව ශ්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු අමතර ගාස්තු ගෙවීම් සිදුකිරීමෙන් අනතුරුව අදාළ වාහන ලියාපදිංචි කිරීමට අවසර හිමි වන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ ආකාරයෙන් ගෙන්වන ලද වාහන අතීතයේදී ශ්‍රී ලංකා රේගුව විසින් මුදාහැර තිබෙන බවත් රේගුව මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

එසේ මුදාහල වාහන පිළිබඳ ලැයිස්තුවක් කැඳවන ලෙස තමා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

මෙම වාහන මුදාගැනීමේදී ආනයනකරුවන් විසින් ගෙවිය යුතු සියයට 35ක අධිභාරය මෙම නඩුකරයෙන් පෙත්සම්කරුවන් සාර්ථක වුවහොත් යළි අයකර ගැනීමට හැකියාව තිබිය යුතු බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තර්ක කළේය.

මෙහිදී තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ඉක්‍රම් මොහොමඩ් සහ සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකර සමතයට පත්කිරීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා ඉදිරි දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම් සමථයට පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

WTO ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය අරඹයි….

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ඊයේ (15) ආරම්භ විය.

මෙම සැසිවාරය හෙට (17) දිනය දක්වා පැවැත්වෙන අතර වෙළෙඳ, තීරු බදු, සේවා සහ ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ආර්ථික සංවර්ධන ඉලක්ක පිලිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට මෙහිදී අවස්ථාව ලැබිණි.

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති, ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයින් ඉදිරියේ සමාලෝචනයට ලක් වීම ඉතාමත් වටිනා අවස්ථාවක් ලෙස දැක්විය හැකි අතර මෙය ශ්‍රී ලංකාව බහුපාර්ශ්වික වෙළෙඳ පද්ධතිය සමඟ නැවත සම්බන්ධ වීමේ තීරණාත්මක අවස්ථාවක් ලෙස සනිටුහන් කරයි.

එමෙන්ම මෙම ප්‍රතිපත්ති සමාලෝචනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නව රජය පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය ද වේ.

සැසිවාර දෙකක් යටතේ පැවැත්වෙන ප්‍රතිපත්ති සමාලෝචනය ආරම්භ කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සමාලෝචනයට ලක්වන රට විසින් සිදුකරන ආරම්භක ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, COVID-19 වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය ඇතුළුව මෑත වසරවලදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පෙර නොවූ විරූ අභියෝග අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ඉස්මතු කරන ලද අතර ජනතාව විඳ දරාගත් දුෂ්කරතා මධ්‍යයේ, 2024 නොවැම්බර් මාසයේදී පැවති මැතිවරණය ජයග්‍රහණයෙන් පසුව නව රජයේ පාලනය යටතේ දියත් කරන ලද, රට නැවත ගොඩ නැගීමේ උපාය මාර්ග පිළිබඳව ද ලෝක වෙළෙඳ සංවිධානයේ සාමජිකයින් දැනුවත් කරන ලදි.

ඒ අනුව IMF සහාය ඇතිව සාර්ව ආර්ථික ස්ථායීකරණය, රාජ්‍ය වියදම් කළමනාකරණය, ණය තිරසරු භාවයේ නව්‍ය උත්සහයන්, වෙළෙඳ පරිපාලනය සහ ආයතනික ප්‍රතිසංස්කරණ තුළින් ලබා ගත් සාර්තකත්වය පිළිබඳව ද මෙහිදී පෙන්වා දෙන ලදි.

වෙළෙඳාම සහ ආයෝජන ශ්‍රී ලංකාවේ දිගුකාලීන පරිවර්තනයේ කේන්ද්‍රය බව අවධාරණය කළ අමාත්‍යවරයා “කුඩා ආනයන මත යැපෙන ආර්ථිකයක සිට ස්මාර්ට්, අපනයන නැඹුරු ආර්ථිකයක් දක්වා ගමන් කිරීමට අපට අවශ්‍යයි.” මේ සඳහා, රජය ජාතික තීරුබදු ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරමින්, ඩිජිටල්කරණය හරහා ශ්‍රී ලංකා රේගු කටයුතු නව්‍යකරණය කරමින්, ජාතික පොදු ප්‍රවේශයක් හඳුන්වා දෙමින් සහ නව ආයෝජන ප්‍රවර්ධන නීති සංවර්ධනය කරමින් සිටින බවද සඳහන් කරන ලදි.

APTA සහ SAFTA වැනි ගිවිසුම් හරහා නව වෙළෙඳ අවස්ථා ගවේෂණය කිරීමත් සිංගප්පූරුව, ඉන්දියාව, පකිස්ථානය සමඟ පවතින කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්දයෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව කටයුතු කරන බවටත් තහවුරු කරන ලදි.

ශ්‍රී ලංකාවේ වෙළෙද ප්‍රතිපත්ති වල ධනාත්මක වර්ධනයන්, ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කරමින් වෙළෙඳ හවුල්කරුවන්, කලාපීය හවුල්කරුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ වෙළෙඳ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන චීනය, ජපානය, සිංගප්පූරුව, නවසීලන්තය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් 20කට අධික සාමාජිකයින් විසින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති ඉතා ප්‍රශංසනාත්මකව මෙහිදී අගය කිරීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව  WTO හි නීති සහ රෙගුලාසි සමඟ ඇති එකගතාව පිළිබඳව සහතික වූ අතර, ලෝක වෙළෙඳ සංවිධානය (WTO), එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය කවුන්සිලය (UNCTAD), ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය (ITC), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව ඇතුළු හවුල්කරුවන්ගේ සහයෝගය පිළිබඳව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කෘතඥතාවය පළ කරන ලදි. ලෝක වෙළෙඳ සංවිධානයෙහි (WTO) ගිවිසුම්වල අනුකූලතාව, විනිවිදභාවය සහ ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමට රටක් ලෙස  ශ්‍රී ලංකා රජයේ ඇති සූදානම ද අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදි.

මෙම වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනයන් හි නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

ඒ අනුව වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයෙ හි දෙවන සැසිවාරය 2025 හෙට පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකාව WTO සාමාජිකයින්ගේ සවිස්තරාත්මක ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත.

මීට අමතරව ඔකතෝබර් අද (16) දින වෙළෙඳ අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ලෝක ආර්ථික කවුන්සිලයේ ප්‍රධානීන් ඇතුළු සාමාජිකයින් මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වරයා සමගින් ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.