උත්සව සමයේ ගෑස් මිල වැඩි කරන්නේ නෑ – ලිට්‍රෝ සභාපති

එළඹෙන උත්සව සමය ගැන සලකා බලා ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

විනිමය අනුපාතය හා ජාත්‍යන්තර මිල වෙනස්වීම් සැලකීමේදී ගෑස් මිලෙහි ඉහළ දැමීමක් සිදු කළ යුතු වුවද, ගෘහස්ථ ගෑස් මිල නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කරන ලද බවයි එහි සභාපති මුදිත පීරිස් නිවේදනය කරන්නේ.

ඒ අනුව මෙම මාසයේදී 12.5 Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3565/= ක් ලෙස පවතිනවා.

කොළඹ – මහනුවර පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක

කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් නිසා කොළඹ – මහනුවර පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ලං.ග.ම. බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බවත්, මහනුවර බෝගම්බර ප්‍රධාන බස්රථ නැවතුම්පළේ බස් ගමන් වාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාම මෙම සිද්ධියට මූලික වී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පැළඳවීම ගැන විමර්ශනයක්

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඒ අනුව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (26) දිනයේ අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළඳවීමේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචනයක් එල්ලවී තිබුණා.

ඩීසල් සහ භූමිතෙල් වලට VAT බද්දෙන් බලපෑමක් නොවන ආකාරයට කටයුතු කරනවා – කංචන

ඩීසල් සහ භූමිතෙල් යන ඉන්ධන වර්ග සඳහා වැට් බද්දෙන් බලපෑමක් නොවන ආකාරයට කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබෙනවා.

වැට් බද්ද ඉන්ධන සඳහාත් අදාළ වන බවට පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ යෝජනා වු නමුත්, වැට් බද්දෙන් එකතු කිරීමට ඇති බදු ආදායම ඉන්ධන මත පනවා ඇති වෙනත් බදු වලින් තුලනය කර ඉහත ඉන්ධන සඳහා වැට් බද්දෙන් බලපෑමක් නොවන ආකාරයට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදී ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

විසන්ධි කළ විදුලි සබඳතා යළි සක්‍රීය කිරීමේ ගාස්තුව අඩු කිරීමට තීරණයක්

විසන්ධි කළ විදුලි සබඳතා යළි සක්‍රීය කිරීමේදී අයකෙකෙනු ලබන ගාස්තුව අඩු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ වන විට විසන්ධි කළ විදුලි සබඳතා යළි සක්‍රීය කිරීමේදී රුපියල් 3,000 ක මුදලක් අයකරන බවත්, ඊයේ (23) දිනයේ මෙය අඩු කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේදී තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව එම මුදල රුපියල් 1,000 – 2,000 අතර මුදලකට ගෙන ඒමට කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

IMF දෙවන වාරිකය දෙසැම්බර් මාසයේ ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබීමට ඇති දෙවන ණය වාරිකය සදහා ලබන මාසයේ අනුමැතිය හිමිවනු ඇති බවට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා.

පොලී අනුපාත තවදුරටත් පහත දමයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පහත දැමීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 9%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 10%ක් ලෙසත් අඩු කිරීමට  මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 10%ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 11%ක් ලෙසත් පැවතුනා.

අදාළ නිවේදනය පහතින්.

65600a7c72aa2pdf_page_0

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අද (24) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක කාලයක් ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (24) පස්වරු 5.00 සිට හෙට (25) පෙරවරු 9.00 දක්වා කොළඹ 11, 12, 13, 14, හා 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව සඳහන්.

Jay Shah ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ නැහැ – ජනපති

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

Jay Shah ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරන බවට විවිධ පිරිස් සිතන බවත් ඔහුගේ නම මෙම සිදුවිමට ඇඳීම සම්බන්ධයෙන් තමා ඔහුට කනගාටුව ප්‍රකාශ කළ බවයි ඉන්දියානු වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව නීත්‍යානුකූල පාර්ශ්වයට තමන්ගේ සහයෝගය ලබාදෙන බවත් එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කරනු ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

නයගරා දියඇල්ල අසල පිපිරීමක්

නයගරා දියඇල්ල අසල අමෙරිකා – කැනඩා දේශ සීමා මුරපොල ආසන්නයේ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෝටර් රථයක් තුළ පිපිරීම සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

පිපිරීම හේතුවෙන් අමෙරිකා – කැනඩා දේශසීමා තාවකාලිකව වසා දමා ඇති බවත්, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය නොමැති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.