ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව මුදාගනී

ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මුදාගත් ධීවර යාත්‍රාව මේ වන විට සීෂෙල්ස්හි වික්ටෝරියා වරාය වෙත රැගෙන යමින් ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ ලොරේන්සෝ පුතා 04 බහුදින යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමඟින් මුහුදු කොල්ලකරුවන් විසින් සිය ග්‍රහණයට ගෙන තිබුණා.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල CID යට කැඳවයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල අද (29) ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඔහු විසින් YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට පෙර පියත් නිකේෂල සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් එසැණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සිදුකළ විමසීමකදී සඳහන් කළේ, මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බවයි.

යුක්තිය මෙහෙයුමෙන් තවත් 803 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 803 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 562ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 241ක් සමගින් මුළු සැකකරුවන් 803 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 562 දෙනා අතරින් සැකකරුවන් 05කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 01ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 241 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 11 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 214ක් සිටින බවද සඳහන්.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 212g ක්, අයිස් 101g ක්, ගංජා 01kg 852g ක්, ගංජා පැල 443 ක්, මාවා 02kg 117 g ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩගුවට ගෙන තිබෙනවා.

ලෝක ලාදුරු දිනය අද

ලෝක ලාදුරු දිනය අදට යෙදී තිබෙනවා.

ලාදුරු රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ.

ඒ අනුව සෙසු රටවලට සාපේක්ෂව මෙරට ලාදුරු රෝගය වැළඳුණු වයස අවුරුදු 14ට අඩු දරුවන් සංඛ්‍යාව ඉහළ යාමක් පෙන්නුම් කරන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සඳහන් කළා.

පසුගිය  වසරේ ලාදුරු රෝගීන් 1550 ක් වාර්තා වූ බවත් එසේම පසුගිය වසරේ ලෝකයේ වෙනත් රටවල මුළු රෝගී සංඛ්‍යාවෙන් 6% ක් දරුවන් වාර්තා වන විට ශ්‍රී ලංකාවේ එම අගය 11% ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය සඳහන් කළා.

යම් අයෙකුට ලාදුරු රෝගයේ ලක්ෂණ ඇත්නම් ඒ සඳහා බියවිය යුතු නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර තිබෙන බැවින් ළඟම රෝහලේ සමේ රෝග සායනයට යොමුවී ප්‍රතිකාර ලබා ගැනීමට බවයි  විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට වැඩිදුරටත් සඳහන් කළේ.

සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ රියදුරු රිමාන්ඩ් භාරයට

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අනතුරට පත් රථයේ රියදුරා වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නමැති පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැලිසර මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රථය පැදවූ රියදුරා මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් පොලීසියට කරුණු දක්වා තිබෙන බවද සඳහන්.

අද රාත්‍රී කාලයේ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමාකෙ‍‍රේ

අද (27) රාත්‍රී 7.00 සිට රාත්‍රි 8.30 දක්වා නිට්ටඹුව ශ්‍රී විජයරාම විහාරස්ථානයේ දුරුතු මහ පෙරහැර පැවැත්වීම හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය දැනුම් දෙනවා.

පෙරහැර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ සිට කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර දකුණට හැරී, අත්නගල්ල මාර්ගයේ ගමන් කර නිට්ටඹුව ශ්‍රී විජයාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා.

පෙරහැර ගමන් කරන කාලය තුළ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය මල්වත්ත හංදියේ සිට නිට්ටඹුව මංසන්ධිය දක්වා නුවර දෙසට වූ මං තීරුවේ රථ වාහන ගමනාගමනයට සීමා කරන අතර, කොළඹ දෙසට වූ මං තීරුව රථවාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මේ නිසා කොළඹ දෙස සිට නිට්ටඹුව නගරය පසුකර නුවර දෙසට ගමන් කිරීමට අපේක්ෂිත රියැදුරන්ට සහ මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.

2023 වසරේ ලිට්‍රෝ සමාගම රුපියල් බිලියන 7 ක ලාභයක් ලබයි

ලිට්‍රෝ සමාගම පසුගිය වසරේ ලාභාංශ ලෙස උපයා ගත් රුපියල් බිලියන 1.5ක මුදලක් භාණ්ඩාගාරයට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය වසරේ ලැබූ මුළු ලාභය රුපියල් බිලියන 7ක් බවයි එහි සභාපති මුදිත පීරිස් අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

පසුගිය ඔක්තෝබර් මාසයේද ලාභාංශ කොටසක් ගෙවූ බවත් එයත් සමඟ 2023 වසරේ රුපියල් බිලියන 3 ක් ලාභාංශ වශයෙන් රජයට ගෙවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සනත් නිශාන්තගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය විමල්ගේ පක්ෂයේ ජගත් ප්‍රියංකරට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මනාප අනුපිළිවෙල අනුව ජගත් ප්‍රියංකර සුදුසුකම් ලබා තිබෙනවා.

2020 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඔහු මනාප 40,527ක් ලබාගෙන තිබුණා.

ජගත් ප්‍රියංකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදුනේ විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින්.

අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ලොරියක ගැටී විදෙස් ජාතිකයෙක් මරුට

අධිවේගී මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටසේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස්, තවත් තිදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම අනතුරෙන් විදෙස් ජාතිකයෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බෙලිඅත්ත ඝාතන සිද්ධිය සම්බන්ධ​ව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගාල්ල වංචාවල ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්ද සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.