ලෝක ජල සමුළුව සඳහා ජනපති අද ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පිටත්ව යාමට නියමිතයි.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.

රණවිරු සැමරුමේ 15 වන සංවත්සරය අදයි

රණවිරු සැමරුමේ 15 වන සංවත්සරය අදට (18) යෙදී තිබෙනවා.

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සෙබළුන් 1,300 කට වැඩි පිරිසකට උසස්වීම් ලබා දීමට නියමිතයි.

රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00 ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ති‍බෙනව‍ා.

ඒ හේතුවෙන් සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවීමේ මං තීරුව සහ පිටවීමේ මං තීරුව වසා තැබෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60-70 දක්වා වැඩිවන බවත්, මුහුද රළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම මුහුදු ප්‍රදේශවල විටින් තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මෙරට ජනතාවගෙන් 45%කට අධි රුධිර පීඩනය

මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පිඩනයට ‍ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

එය රෝග රැසකට මුල් වන රෝගයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ.

අධි රුධිර පීඩනය වැළඳීමෙන් වැළකීමට යහපත් ආහාර රටාවක් ඇතුළු නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

තම රුධිර පීඩනය වරින් වර මැන, නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් රෝගය හේතුවෙන් සිදුවන හදිසි මරණ වළක්වා ගත හැකි බවයි වෛද්‍ය සමින්ධි සමරකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් අද (17) දිනයේ ද වර්ෂාව ඇද හැලුණහොත් මෙම මාර්ගය යළි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

උසස්පෙළ පන්ති ජූනි 04 වනදා ආරම්භ වෙයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමුකර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහ කොට්ඨාස කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවද සඳහන්.

FoxHill අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට

දියතලාව FoxHill මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වූ අතර, එහිදී සිදුවු මාරක අනතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වුණා.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධතාවයක්

ජාතික සම්පත් විකිණීමට එරෙහිව කොළඹදී අද (15) දැවැන්ත විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත් වුණා.

ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙස හා ටෙලිකොම්, රක්‍ෂණ, මිල්කෝ ආයතන ඇතුලු ජාතික සම්පත් විකිණීම නවතන ලෙස බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

මේ සඳහා වෘත්තීය සමිති, තරුණ සංවිධාන, සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන ගණනාවක් එක්ව සිටියා.

මිලියන 9කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදෙස් රටවල් කිහිපයක සිට පැමිණි පාර්සල් කිහිපයක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ ආවේක්ෂණ රාජකාරීවලදී මෙරටට එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි තිබී මත්පෙති 150ක්, කුෂ් ග්‍රෑම් 466ක් සහ කොකේන් ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 9කට ආසන බවයි සඳහන් වෙන්නේ.

නීතිවිරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් STF අත්අඩංගුවට

මෙරටට නීති විරෝධීව දුම්වැටි ආනයනය කිරීමේ ජාවාරමේ යෙදුනු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම, කැටගේවත්ත පාර ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීමේදී, ජාවාරම් කිරීම සදහා සන්තකයේ තබාගත් රුපියල් දෙලක්ෂ පනස්දාහක් පමණ වන නීති විරෝධී දුම්වැටි 1,600ක් භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.