හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීමට පොලිසියෙන් දුරකථන අංක දෙකක් හඳුන්වා දෙයි

අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව 011- 242 1820 සහ 011- 242 1111 යන දුරකථන අංක ඔස්සේ ආපදා සහන අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට ඇමතුම් ලබාදිය හැකි බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව වැසෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල-බියගම අන්තර් හුවමාරුව නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

අධික වැසි තත්ත්වය සමග බියගම මාර්ගය ආශ්‍රිත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් කඩුවෙල පිවිසුම භාවිත කර කඩවත දෙසට ගමන්කිරීමට හෝ කඩවත දෙස සිට පැමිණෙන රථවාහන කඩුවෙල පිවිසුම භාවිත කර පිටවීමට නොහැකි බවයි වාර්තා වෙන්නේ.

ගංවතුර නැරඹීමට යාම, දියනෑම සහ විනෝදවීමෙන් වළකින්න – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයන් නැරඹීමට යාමෙන් වලකින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව ගංවතුර නැරඹීමට යාම සහ ගංවතුරෙහි දියනෑම සහ විනෝදවීම සිදු නොකරන ලෙසයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුදෙන්නේ.

අද දිනයේ ගංවතුර නැරඹීමට යාමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විට අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කළා.

අද රට බංකොලොත් වෙලා තියෙන්නේ ණය අරගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා – සජිත්

අද වන විට රට බංකොලොත් වී ඇත්තේ ණය ලබාගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙම න්‍යාය කුඩා කඩයකට පවා අදාල බවත්, කඩයකට ණයට බඩු භාණ්ඩ මිල දී ගෙන, ඒවා අලෙවි නොවුනහොත් ණය ගෙවීමට නොහැකිවීම නිසා කඩය වසා දැමීමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

රටක් ව්‍යාපෘති කිරීමේදී වැයවන මුදල නැවත උපයාගත හැකිදැයි ගණන් සාදා බැලිය යුතු බවද, අද රටම ඉල්ලං කා ඇත්තේ එසේ නොකර විවිධ පුද්ගලයින්ගේ ප්‍රතිරූප නිර්මාණය කිරීම සඳහා ගිනි පොළියට ණය රැගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා බවයි ඔහු සඳහන් කළේ.

වචනයට රැවටී රටේ ජනතාව ඔවුන්ට වරමක් ලබාදුන් බවද, එසේ වරම ලබාගත් අය තමන්ට සහ තම පවුල්වලට රටම සින්නකර ඔප්පුවෙන් ලියාගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්නේ නෑ – ජාතික ගමනාගමන කොමිසම

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කරනවා.

අවස්ථා දෙකකදීම ඩීසල් මිල අඩු කළද සමස්ත ලෙස ඒ අඩුවීමේ ප්‍රතිශතය 2.8%ක් පමණක් බවත්, කොමිසමට අනුව බස් ගාස්තු අඩු කිරීමක් ක්‍රියාත්මක කිරීමට නම් අවම වශයෙන් 4% ක අඩුවීමක් අවශ්‍ය වන බවයි එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ.

එසේම වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් මේ මාසය තුළ සිදු කිරීමට නියමිත බවද, එහිදී ඩීසල් මිල පහත වැටීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකොට බස් රථ අමතර කොටස්වල මිල අඩු කිරීම ඇතුළු කරුණු දොළහක් සැලකිල්ලට ගනු ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

පුරවැසියෙකුගේ සාධනීය විවේචනයක් පිළිගනිමින් සුනිල් හඳුන්නෙත්තිගෙන් ප්‍රතිචාරයක්

තමන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු පෙන්වාදුන් සාධනීය විවේචනයක් පිළිගනිමින් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති කණගාටුව පළ කර තිබෙනවා.

පසුගියදා ජන හමුවක් අමතමින් ලොව ප්‍රකට තාක්ෂණ ව්‍යවසායකයෙකු වන Elon Musk පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති අදහස් දැක්වූ අතර, ඒ පිළිබඳව සාධනීය විවේචනයක් සිදුකරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සංජය ඇල්විටිගල ඊයේ (31) YouTube වීඩියෝවක් නිකුත් කර තිබුනා.

එම සාධනීය විවේචනය පිළිගනිමින්, තම කතාවේදී Elon Musk ට “හාදයා” යනුවෙන් ඇමතීම තමන් ඉදිරියේදී නිවැරදි කරගන්නා බවද, එය පෙන්වා දීම පිළිබඳව සංජය ඇල්විටිගලට ස්තූතිවන්ත වන බවද සඳහන් කරමින් සුනිල් හඳුන්නෙත්ති Facebook සටහනක් තබා තිබෙනවා.

එසේම “ආර්ථික ඝාතකයෙකු” ලෙස තමන් නම් කළේ Elon Musk නොව ජේම්ස් ෆැකර් සහ ජෝර්ජ් සොරොස් යන අය බවද, එනමුත් තම කතාවේදී එවැන්නක් හඟුනේ නම් ඊට කණගාටුව ප්‍රකාශ කරන බවයි ඔහු එහි වැඩිදුටත් සඳහන් කර ඇත්තේ.

අදාළ Facebook සටහන පහතින්.

665ac63195969

සයිනොපෙක් ඉන්ධන මිලද සංශෝධනය කෙරේ

ඊයේ දිනයේදී සංශෝධනය වුනු සිපෙට්කෝ ඉන්ධන මිලට සමගාමීව, අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා සිපෙට්කෝ මිලට සමාන කර ඇති අතර, එහි නව මිල රුපියල් 355 බව සඳහන්.

එසේම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 19කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 314 ක් වනවා.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල සිපෙට්කෝ මිලට වඩා රුපියල් 3 ක් අඩුවෙන් අලෙවිකරන අතර සෙසු ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ මිලට සමාන වෙනවා.

2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

එංගලන්ත ජාතික තරුණිය​කගේ බෑගය සොරකම් කළ සැකකරු අත්අඩංගුවට

එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20,000 ක පමණ වටිනා දෑ අඩංගු බෑගය පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ බස් රථයක් තුළදී සොරාගත් පුද්ගලයා කැලණිය පෙතියාගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බවයි පිටකොටුව පොලිසිය සඳහන් කළේ.

එම සැකකරු සොරාගෙන තිබූ ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

හොරණ මාර්ගයේ බැල්ලපිටිය හන්දියේ බසයකට යටවී කාන්තාවක් මරුට

හොරණ මාර්ගයේ බැල්ලපිටිය හන්දියේ බසයකට යටවී කාන්තාවක් මරුට

* රෝද දෙකම ඇඟ උඩින් ගිහිල්ලා

ගල්පාත චන්දන ජයලාල්

මෙසේ මරණයට පත් වී ඇත්තේ බෝතලේගම, මානාන, බුලත්සිංහල, පදිංචි (78) හොඳමුණිගේ ඇසිලින් නොනා නැමති කාන්තාවක් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

හොරණ දෙස සිට(285) මාර්ගයේ මතුගම දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බැල්ලපිටිය හංදිය ආසන්නයේ පිහිටි බස් නැවතුම් පලෙහි නවතා මගීන් නංවා ගැනීමෙන් පසු නැවත ගමන් කිරීමට යාමේදී බස් රථයට ඉදිරියෙන් මාර්ගයේ දකුණු පස සිට වම් පසට පාර මාරු වීමට පැමිණි පදික කාන්තාවක් බස් රථයේ ඉදිරි වම්පස රෝදයට සහ පසුපස රෝද දෙකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලබා මාර්ගයේ වැටී සිටින කාන්තාව පොලිස් නිලධාරීන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ රෝහල වෙත යැවීමට කටයුතු කර ඇති අතර රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුට සිදුවූ බස් රථය සහ රියදුරු සහ අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු හොරණ පොලිස් ස්ථානයේ මුලස්ථාන පොලිස් පරීක්ෂක සී.එස් පනාවල මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප විමල් ආනන්ද මහතා,පො.සැ 32724 රත්නවීර,පො.සැ 60503 දිමුතු ,පො.කො 89321 ඉන්දික විසින් සිදුකරනු ලබයි.