වැඩවර්ජනය හේතුවෙන් සව​ස දුම්රිය ගමන්වාර අවලංගු වීමේ අවධානමක්

දුම්රිය ධාවනාගාර රියදුරු වැඩ වර්ජනය හේතුවෙන් අද දින මේ දක්වා දුම්රිය ගමන්වාර 32 ක් අවලංගු වී තිබෙනවා.

ඒ අනුව සවස කාලය වන විට එම ප්‍රමාණය මීට වඩා වැඩිවීමට හැකියාවක් ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උසස් වීමේ ගැටලුවක් සහ බඳවා ගැනීමේ ගැටලුවක් මුල් කරගමින් දුම්රිය රියදුරු සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.

මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකියි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මෙම කාලය තුළ ඩෙංගු මරණ 09ක් වාර්තා වී ඇති නමුත් අධි වසංගත තත්ත්වයක් දක්වා රෝග ව්‍යාප්තිය වර්ධනය වීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සංවිධානය කර තිබූ ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල කල් දැමීමට සිදුවී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමණසේන සඳහන් කළා.

කොළඹ නුවර මහා මාර්ගයේ මාවනැල්ල පහල කඩුගන්නාව ප්‍රදේශය උදෑසන 10 සිට සවස 6.30 දක්වා මාර්ගය විටින් විට වසා දමයි

කොළඹ නුවර මහා මාර්ගයේ මාවනැල්ල පහල කඩුගන්නාව ප්‍රදේශය අනතුරු දායක ගස් අතු ඉවත් කිරීමටත් අනතුරු දායක ගල් ඉවත් කිරීමටත් හෙට දින උදෑසන 10 සිට සවස 6.30 දක්වා මාර්ගය විටින් විට වසා දමන බව දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ පවසයි.. හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටත් ඉල්ලීම්….

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ගංවතුරට හසුවූ නිවාස පිරිසිඳු කරගැනීමට රජයෙන් රු 10,000 ක් ලබාදීමට තීරණයක්

ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (06) මේ බව සඳහන් කළා.

Starlink සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlink වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබාදී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා.

SpaceX ආයතනය මඟින් ලොවපුරා කක්ෂගත කළ Starlink චන්ද්‍රිකා දැනටමත් ශ්‍රී ලංකාවට ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරන අතර, එම චන්ද්‍රිකා ජාලය හරහා මෙරටට අන්තර්ජාල සේවා සැපයීමට නියාමන අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව 2019 වර්ෂයේ සිට Starlink වෙබ් අඩවිය සඳහන් කර තිබුනා.

පහත් පෘථිවි කක්ෂයේ (LEO) තත්පරයට කිලෝමීටර් 7.8ක වේගයෙන් නිරන්තරයෙන් පෘථිවිය වටා පරිභ්‍රමණය වන චන්ද්‍රිකා 6000 කට වැඩි ප්‍රමාණයක් හරහා Starlink අන්තර්ජාල සේවාවන් ලොවපුරා සැපයෙන අතර, එක් එක් රටවල නියාමන අනුමැතිය මත පමණක් එම රටවලට සේවාව භාවිතා කිරීමේ හැකියාව සීමා වී තිබෙනවා.

කොත්තු, රයිස් මිල රුපියල් 25 කින් පහළට

ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද (05) සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් අඩු කිරීමට තීරණය කළ බවයි සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.

එසේම අනෙකුත් කෙටි ආහාර වර්ගවල මිල සහ ටී, ප්ලේන්ටී මිල රුපියල් 10කින් අඩු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට ආරම්භ වෙයි

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) දිනයේ යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දැනට ගංවතුර තර්ජනයට ලක්ව ඇති සහ අවතැන් කඳවුරු සහිත පාසල් වසා තැබීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කලාප අධ්‍යක්ෂකවරුන්ට පවරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

66603b636f6a3

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 30 ක් වාර්තා වෙයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැයි මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30 ක් වාර්තාවී ඇති ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් පුද්ගලයින් 13,028 ක් මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බවයි.

එසේම අයහපත් කාලගුණයෙන් නිවාස 71 ක් පූර්ණ හානියට පත්ව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

2023 (2024) අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (05) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජූනි මස 19 වනදා දක්වා මේ සඳහා අයදුම් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

6660277505870