නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හා ක්‍රීඩා ඇමති අතර හමුවක්

නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක් අද (18) පවත්වා තිබෙනවා.

ඒ අනුව නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර විජයග්‍රාහී තැනකට ඔසවා තැබීමේ හැකියාව ඔවුන් සතුව ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය සහ නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් එක්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉදිරි දින කීපයේදී වැසි තත්ත්වයේ අඩුවීමක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඉදිරි දින කීපයේදී සාපේක්ෂව වැසි තත්ත්වයේ ප්‍රමාණාත්මකව අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.

එමෙන්ම උදේ කාලයේ ඇති වැසි තත්ත්වය ක්‍රමයෙන් සවස් කාලයේ ඇතිවන වැසි තත්ත්වයක් බවට පරිවර්තනය වීමක් සිදුවන බවයි ඔහු සඳහන් කරන්නේ.

පවතින වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් 7 වැනිදායින් පසු අපේක්ෂා කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

පොල්දූවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය මේ වනවිට පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබෙනවා.

ගුරු – විදුහල්පති සංගම් මේ වන විට සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි සඳහන් වන්නේ.

656eea1840e63 656eea1835d97

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා නායයෑමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්. ‍

656dacf6b1536

මෙරට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 07 කට රතු බිල්

සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 65 ක් පමණ නිසි පරිදි විදුලි බිල් නොගෙවන බවද, ලක්ෂ 7 කට පමණ රතු බිල් නිවේදන නිකුත් කර ඇති බවද විදුලි බල මණ්ඩලය පෙන්වා දෙනවා.

සමස්ත විදුලි පාරිභෝගික ප්‍රමාණයෙන් රතු නිවේදන නිකුත් කරනු ලබන්නේ 10% පමණ මට්ටමේ ප්‍රතිශතයක් සලකා බලා බවත්, එයින්ද විදුලි විසන්ධි කිරීම දක්වා යොමු වන්නේ 1% කට පමණක් බවත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසනවා.

විදුලි බිල අඩු වූවත්, වැඩි වූවත් බිල නොගෙවන පිරිසක් සිටින බවද, විදුලි බිල් නොගෙවා සිටීම අද ඊයේ ඇතිවූ දෙයක් නොව, සැමදා පැවතුනු දෙයක් බවද ඔහු පවසා සිටිනවා.

විදුලි බිල වැඩිවීමෙන් යම්කිසි අපහසුතාවයක් ඇති බව සැබෑ නමුත් මේ ආදායම එකතු කරගත යුතු බවත්, බිල් වැඩි කර ඇත්තේ ආදායම වැඩි කරගැනීමට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මාළු, චීස්, බටර් ඇතුළු භාණ්ඩ කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව භාණ්ඩ කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොකු ළුෑණු, සැමන්, යෝගට්, බටර්, ඇපල්, දොඩම්, මිදි, රටඉඳි ඇතුළු භාණ්ඩ වර්ග කීපයකට 2023 දෙසැම්බර් 01 දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා බල පැවැත්වෙන ලෙස මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අය කෙරෙන බව සඳහන්.

අදාල ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයට බදු පැනවෙන ආකාරය පහතින්.

* ලොකු ළුෑණු 1Kg සඳහා රු. 10/-

* යෝගට් සහ බටර් 1Kg සඳහා රු. 2,000/-

* චීස් 1Kg සඳහා රු.1,500/-

* රට ඉඳි 1Kg සඳහා රු. 200/-

* දොඩම්, මිදි, ඇපල්, අනිකුත් පළතුරු 1Kg සඳහා රු. 600/-

* සැමන් සහ මාළු 1Kg සඳහා රු. 200/-

උත්සව සමයේ ගෑස් මිල වැඩි කරන්නේ නෑ – ලිට්‍රෝ සභාපති

එළඹෙන උත්සව සමය ගැන සලකා බලා ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

විනිමය අනුපාතය හා ජාත්‍යන්තර මිල වෙනස්වීම් සැලකීමේදී ගෑස් මිලෙහි ඉහළ දැමීමක් සිදු කළ යුතු වුවද, ගෘහස්ථ ගෑස් මිල නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කරන ලද බවයි එහි සභාපති මුදිත පීරිස් නිවේදනය කරන්නේ.

ඒ අනුව මෙම මාසයේදී 12.5 Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3565/= ක් ලෙස පවතිනවා.

කොළඹ – මහනුවර පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක

කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් නිසා කොළඹ – මහනුවර පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ලං.ග.ම. බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බවත්, මහනුවර බෝගම්බර ප්‍රධාන බස්රථ නැවතුම්පළේ බස් ගමන් වාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාම මෙම සිද්ධියට මූලික වී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පැළඳවීම ගැන විමර්ශනයක්

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ඒ අනුව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (26) දිනයේ අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළඳවීමේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචනයක් එල්ලවී තිබුණා.

ඩීසල් සහ භූමිතෙල් වලට VAT බද්දෙන් බලපෑමක් නොවන ආකාරයට කටයුතු කරනවා – කංචන

ඩීසල් සහ භූමිතෙල් යන ඉන්ධන වර්ග සඳහා වැට් බද්දෙන් බලපෑමක් නොවන ආකාරයට කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබෙනවා.

වැට් බද්ද ඉන්ධන සඳහාත් අදාළ වන බවට පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ යෝජනා වු නමුත්, වැට් බද්දෙන් එකතු කිරීමට ඇති බදු ආදායම ඉන්ධන මත පනවා ඇති වෙනත් බදු වලින් තුලනය කර ඉහත ඉන්ධන සඳහා වැට් බද්දෙන් බලපෑමක් නොවන ආකාරයට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදී ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.