ප්‍රදේශ කිහිපයකට තද වැසි ගැන අනතුරු ඇඟවීමක්

ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ් අනුව උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40-50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.

659e375330d03

අවුරුදු 26 කට පෙර සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ චූදිතයකුට බලපිටිය මහාධිකරණයේදි මරන දඩුවම නියම කෙරේ.

පිරිසක් විසින් පුද්ගලයකුට පහරදී කාන්තාවකගේ රන් ආභරණ පැහැර ගත්තේ යයි වරදකරුවන්වූ දෙදෙනෙකුගෙන් එක් අයෙකුට මරණ දඩුවමත් අනෙක් තැනැත්තාට බරපතල වැඩ සහිත සිර දඩුවමකුත් බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් 08 දින නියම කළේය.

මෙසේ මරණ දණ්ඩණය නියමවූයේ අංක 384,අගුණුකොළපැලැස්ස පදිංචි හේවාහකුරු ඉන්දික ජයවර්ධන නොහොත් ආමි කුමාර නමැත්තාටය.

බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කෙරුණේ කරන්දෙණිය කැකිරිස්කන්ද පදිංචි කොස්ගල්ලනදුරගේ ආනන්දරත්න නමැත්තාටය.

මරණ දන්ඩනය නියමවූ විත්තිකරු නොමැතිව මේ තීන්දුව ලබාදීම සිදු කෙරුණු අතර ඔහු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අදාළ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා පොලීසියට නියෝග කළේය.

1997 සැප්තැම්බර් මස 19 දින හෝ ආසන්න දිනයකදී ඌරගස්මන්හංදිය ප්‍රදේශයේදී එම ප්‍රදේශයේම පදිංචි තොම්මයා හකුරු ප්‍රේමරත්න නමැත්තාට පහරදී ඔහු ඝාතනය කිරීම සහ එම ප්‍රදේශයේම පදිංචි ඉලන්දාරිදේව ආරියවතී නමැත්තිය සතු රන් ආහරණ මංකොල්ලකෑම යන චෝදනා මේ විත්තිකරුවන්ට ඌරගස්මංහන්දිය පොලීසිය විසින් ගොනු කොට තිබිණ.

වසර විසිතුනක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මේ විත්තිකරුවන් දෙදෙනාගෙන් අංක 384,අගුනුකොලපැලැස්ස පදිංචි හේවාහකුරු ඉන්දික ජයවර්ධන නමැත්තාට මරණ දණ්ඩනය නියම කෙරුණු අතර කරන්දෙණිය කැකිරිස්කන්ද පදිංචි කොස්ගල්ලනදුරගේ ආනන්දරත්න නමැත්තාට බරපතල වැඩ සහිත වසර පහක සිර දඩුවමක් හා රුපියල් 25000ක දඩමුදලක් ගෙවන ලෙසත් එම දඩමුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරඩඩුවමක් නියම කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

ඌරගස්මංහන්දිය පොලීසිය විසින් ගොනු කරන ලද මේ නඩුව රජයේ අධි නීතීඥවරියන් වන ඉසුරි ජයවර්ධන මහත්මිය සහ හිරුණි අල්මේදා මෙනෙවිය විසින් මෙහෙයවන ලදි.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන.

TIN අංකය ලබා ගැනීමේ පහසුකම් පුළුල් කිරීමට රජයේ අවධානය

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම TIN අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ඊට අදාළ පහසුම් සැලසිය යුතු බවත් ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දුන් බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමට අදාළ කටයුතු සොයා බැලිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

TIN ලබාදීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු, රාජ්‍ය පරිපාලන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

වාහන ආනයනයට යළි අවසර ලබාදීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ – රංජිත් සියඹලාපිටිය

වාහන ආනයනය සඳහා යළි අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව රටේ ඇති විදෙස් සංචිත ප්‍රමාණය සැලකිල්ලට ගෙන වාහන ආනයනය සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා අධ්‍යනයක් සිදු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එම වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

2024 මුල් දින 4 තුළ සංචාරකයින් 25,000 කට අධික ප්‍රමාණයක් දිවයිනට

2024 වසරේ පළමු දින 04 තුළ සංචාරකයින් 25,000 කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව පැමිණි සංචාරකයින් අතරින් බහුතරයක් රුසියා, ඉන්දියා, ජර්මනිය සහ එංගලන්තයෙන් පැමිණි සංචාරකයින් බවයි එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.

මෙම වසරේදී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 23 ක් පමණ වන බවත් එය ඉක්මවා යාමට හැකියාව ලැබෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

හෝමාගම කටුවාන කර්මාන්තපුරය අවට ජනතාවට මුඛ ආවරණ පළඳින ලෙස දැනුම්දීමක්

හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දුමක් හටගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් වායුවක් පරිසරයට මුසුවී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් එම වායු කාන්දුව නතර කිරීමට ගිනි නිවීම්, ආපදා කළමණාකර ඇතුළු අදාළ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම දුමාරය ප්‍රදේශය පුරා පැතිර යාම හේතුවෙන් මුඛ ආවරණ පළදින ලෙසට සෞඛ්‍ය අංශ හෝමාගම කර්මාන්ත පුරය අවට සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 955 ක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ගතවූ පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 955ක් අත්අඩංගුවට තිබෙනවා.

ඒ අනුව මෙම වැටලීම්වලදී හෙරොයින් 435g ක්, අයිස් 261g ක් හා මත්පෙති 1,403 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලිබල සේවාවලට බාධා කරන සේවක පිරිස්වල සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්න – කංචන

සැලසුම් සහගතව සහ නීතිවිරෝධි අයුරින් උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ සේවකයින්ට පවතින නෛතික ප්‍රතිපාදන යටතේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි මස 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් ගෙන යන වැඩවර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ  මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශය වෙත මහජන පැමිණිලි ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර තිබූ බවත් විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් 02 වනදා සිට සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ලිඛිත ව ඔවුන්ව දැනුවත් කර තිබු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ලිපිය පහතින්.

6599f927578dbpdf_page_0

සිමෙන්ති කොට්ටයක මිල 320 කින් ඉහළ ගිහින් – ජාතික ඉදිකිරීම් සේවක සංගමය

සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා

රුපියල් 320 කින් මේ වන විට සිමෙන්ති මිල ඉහළ දමා ඇති බවත් රුපියල් 2450 වැනි මිලකට වෙළෙඳපොලේ මේ වනවිට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මෙය අසාධාරණ ක්‍රියාවලියක් බවත් වැට් බද්දට ඇති භීතිකාව මෙම මිල වැඩි කිරීම්වලට හේතුවී ඇති බවයි ඔවුන් පෙනවා දෙන්නේ.

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

පුවත්පත් කලාවේදියෙක්, ප්‍රවීණ ලේඛකයෙක්, ග්‍රන්ථ ප්‍රකාශකවරයෙකු හා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා අද (05) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 63 වැනි වියේ පසුවුණා.

ප්‍රදීප් කුමාර බාලසූරිය විසින් ජනප්‍රිය නවකතා, ධනාත්මක චින්තන කෘති හා පරිවර්තන කෘති රැසක් ද රචනා කර ඇති අතර, දවස, දිවයින, අරලිය, සඳරේණු, සක්වල ආදී පුවත්පත් හා සම්බන්ධව කටයුතු කරමින් ඔහු පුවත්පත් කර්තෘවරයෙකු ලෙසද කටයුතු කළා.

දේහය මේ වන විට ගම්පහ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ලබන 07 වැනි ඉරිදා ගම්පහ – කසගහවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.