මැති ඇමතිවරු නැකතට වැඩ කරලත් අවුරුදු 75 කට පස්සෙ රට බංකොලොත් – සංස්කෘතික ඇමති

නැකැත් හරි හෝ වැරදි විය හැකි බවත් තමන්ගේ ආත්ම විශ්වාසය සමඟ වැඩකටයුතු සිදු කරන ලෙස බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

නැකැත් කමිටුව පත්වන ආකාරය තමන් නොදන්නා අතර 1992 වසරේ වී.ජේ.මූ. ලොකුබණ්ඩාර විසින් නැකැත් කමිටුවක් සකස් කර ඇති බවත් එදා සිට වර්ථමානය දක්වාම කිසිඳු සංශෝධනයක් නොමැතිව එම කමිටුව පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රටේ ජනාධිපතිවරු අගමැතිවරුන් මන්ත්‍රීවරුන් පළවෙනි අඩිය තැබීම්, අත්සන් කිරීම්, දිවුරුම් දීම් වැනි සියලුදේ නැකතට සිදු කළත්, වසර 75 කට පසු රට බංකොලොත්වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ලෝකයේ රටවල් අතරින් සියලු දෙනා එකට හැලි වලං ලිපේ තබා කිරි උතුරවා කිරිබත් සාදා එකම අවස්ථාවේ ආහාර ගන්නා ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවත්, මෙම නැකැත් අර්බුදය හරහා සිදුව ඇත්තේ රටේ සංස්කෘතියට පහර ගැසීමක් බවයිි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දුන්හිඳ Odyssey විශේෂ දුම්රිය අද සිට ධාවනයට

දුම්රිය සේවාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් අද (05) සිට “දුන්හිඳ Odyssey” නමින් විශේෂ දුම්රියක් ධාවනය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම දුම්රිය අඟහරුවාදා‍, සිකුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 6.30 ට කොළඹ කොටුවෙන් ආරම්භ වන අතර බදුල්ලට සවස 5.37 ට ළඟා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම සඳුදා‍, බදාදා සහ සෙනසුරාදා දිනවල බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා මෙය ධාවනය වීමට නියමිතයි.

එහිදී බදුල්ලෙන් පෙරවරු 8.00 ට ගමන් ආරම්භ කර පස්වරු 6.51 ට කොළඹ කොටුවට ළඟාවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම සංචාරක දුම්රිය හොස්ටේල් දියඇල්ල, ශ්‍රී පාද කන්ද, ශාන්ත ක්ලෙයාර් දියඇල්ල, එල්ජින් දියඇල්ල, සමිට් ලෙවල්, අංක 18 බිංගෙය, සුළං කපොල්ල (ඉදල්ගස්හින්න – හපුතලේ), කිතල් ඇල්ල දියඇල්ල, ආරුක්කු 9 පාලම, දෙමෝදර බිං ගෙය යන ස්ථාන වලදී සංචාරකයින්ට නැරඹුම් ස්ථාන ලෙස නැවැත්වීමට නියමිතයි.

අදාළ දුම්රිය කාලසටහන හා ආසන වෙන් කිරීමේ ගාස්තු පහතින්.

ඡායාරූප – RDMNS Railway Network

660f989b240cf 660f9899dee7a

අද හිරු මුදුන් වන ප්‍රදේශ

අද (05) සිට ලබන 15 වන දා දක්වා දිවයිනට සෘජුවම ඉහළින් සූර්යයා පිහිටන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දහවල් 12.12 ට බලපිටිය, ඇල්පිටිය , මොරවක සහ තිස්සමහාරාම යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවේ යැයි අපේක්ෂා කරනවා – IMF

සිය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව එම වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට එළැඹෙනු ඇති බවට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීම ආරම්භ වී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළේ.

සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසුව රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇති අතර, මෙම ප්‍රතිසංස්කරණ ගම්‍යතාව අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත් බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අප්‍රේල් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින්.

අතුරුදන්ව සිටි ඔවුන් දෙදෙනා ඊයේ කොළඹ කොටුව අධිකරණයට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.

ඒ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ චෝදනාවකටයි.

අදාළ චෝදනාවට ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

පොලිස්පතිට හෙට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගයක්

පොලිස්පතිවරයාට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

අලුත් අවුරුදු කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනපතිගෙන් උපදෙස්

එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යාංශ ඇතුළු අදාළ ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුළ රටේ මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

660e783c5d02bpdf_page_0

දමිතා අබේරත්න CID අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුයි – පාරිභෝගික සේවා අධිකාරිය

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව භාණ්ඩ මිලදී ගැනිමේදී නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ සඳහන් කළේ.

එළඹෙන අලුත් අවුරුදු සමය මුල් කර ගනිමින් අත්‍යවශ්‍ය ආහාර වැටලීම් මේ වන විට දෛනිකව සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය පිලී පැනීමක්

මරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය පිලී පැනීමක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 06.05 ට මහව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය අද දින සවස 06.15 ට පමණ මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.