කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන්පථ වෙනස් කිරීමේ අංශයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මරදාන දෙසට ධාවනය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

මේ වනවිටත් එහි නඩත්තු කටයුතු අරඹා ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී.50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හලාවත නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

හලාවත, සිංහපුර ප්‍රදේශයක නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ දියණිය මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 42ක් පමණ වයසැති පිරිමි පුද්ගලයෙක්, 40ක් පමණ වයසැති කාන්තාවක් සහ 15ක් පමණ වයස දියණියක් බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බෝම්බ බියක් නිසා ඉන්දීය ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්සයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබෙනවා.

මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයක් බවයි සඳහන් වෙන්නේ.

පරීක්ෂණ වලින් අනතුරුව එම ගුවන් යානයේ බෝම්බ තර්ජනයක් නොමැති බව තහවුරු වූ බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කළේ.

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත්කෙරේ

කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කළා.

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියේ වන අලි රංචුවක් ගැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය අබලන් වූ අතර, එය පිළිසකර කිරීමෙන් අනතුරුව මෙලෙස අද සිට දුම්රිය ධාවනය ආරම්භ කර තිබෙනවා.

මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර, රොටවැව ප්‍රදේශයේදී ඊයේ (18) එම අනතුර සිදුවී තිබුණු අතර, එම අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී, දුම්රියේ ඉන්ධන ටැංකි පෙරළී ගොස් තිබුණා.

එහිදී වන අලින් දෙදෙනෙකු ද මියගොස් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ගංවතුර බැසයෑම සමග මීඋණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින්, ශරීරයේ තුවාල හෝ සීරීම් පවතී නම් වතුරට නොබසින ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ පවසනවා.

මීයන්ගේ මුත්‍රා වතුරට එක්වී තිබීමෙන්, ශරීරයේ ඇති තුවාල ඔස්සේ මී උණ විෂබීජය ශරීරගතවිය හැකි බවත්, මෙය ඉතා භයානක රෝගී තත්ත්වයක් බවයි වෛද්‍යවරිය අවධාරණය කර සිටින්නේ.

මී උණ රෝගයේ රෝග ලක්ෂණ ලෙස ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව ආදිය ඇති වන බව පෙන්වාදුන් වෛද්‍යවරිය මෙම රෝග ලක්ෂණ පැවතියහොත් ඉතාම ඉක්මණින් රෝහල්ගත වීම ඉතා වැදගත් බවද පෙන්වා දුන්නා.

චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ

ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩල පත්කර තිබෙනවා.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඩබ්. ප්‍රින්ස් සේනාධීර පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, එම්. ඩී. මහින්දපාල, ඩබ්. ජී. ටිතිර වික්මල්, නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම්. එස්. කේ. ජේ. බණ්ඩාර, බී. එන්. දම්මින්ද කුමාර හා වයි. අයි. ඩී. ගුණවර්ධන පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස එස්.එම්. සමන් සමරකෝන් පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි, ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු, ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්, එම්. කේ. ප්‍රසංග චතුරංග, පී.ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා, ජී. එච්. වයි. මංජුල සිරිසෝම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල් හා අයි. ජී. සුලක්ඛනා කුමාරි පත්කර තිබෙනවා.

මහ මැතිවරණය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යා​ව 290 ක් දක්වා ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 33 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 290 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලැබුණු පැමිණිලි අතර 211 ක් විසඳීමට කටයුතු කර ඇති අතර තවත් පැමිණිලි 79 ක් විසඳීමට ක්‍රියාකරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොළඹ කොටුව සහ මඩකලපුව අතර සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ අද දිනයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම මාර්ගයට දැඩි හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමු වී තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේදී අදාළ හමුව සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ කරුණු රැසක් පිළිබඳව එහි දී සාකච්ඡා වී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව ගුවන් යානයක් පරිත්‍යාග කිරීම වෙනුවෙන්, ආරක්ෂක ලේකම්වරයා අමෙරිකාවට සිය කෘතඥතාව ද පළකර තිබෙනවා.