බදුල්ලේදී සරසවි සිසුන් රැගත් බස් රථයක් පෙරළී සිසුවියන් දෙදෙනෙක් මරු​ට

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද (01) උදෑසන 7.45ට පමණ පෙරළීගොස් අනතුරක් සිදුව තිබෙනවා.

බදුල්ල – මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර පිහිටි වේල්ලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් සිසුවියන් 02 ක් මියගොස් ඇති අතර, තවත් සිසුන් 35 ක පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නොවැම්බර් 4 සිට 9 දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක්

කලින් සරම්ප එන්නත ලබානොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්ක 12 ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සඳහන් කළේ.

වයස මාස 9 දී බිලිඳුන්ට සරම්ප එන්නත ලබාදෙන අතර, ඊට පෙර කාලය තුළදී එම බිළිඳුන්ට සරම්ප රෝගය වැළඳීමේ දැඩි අවදානමක් පවතින බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වන නමුත්, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2023 වර්ෂයෙන් පසුව ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වන බවයි.

සෙව​ණගලින් බිලියනය​ක හෙරොයින් සොයාගනී

සෙවණගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40 ක් සොයාගෙන තිබෙනවා.

හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි වටිනාකම රුපියල් මිලියන 1000ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන්.

ගංවතුර ආපදා කටයුතු වෙනුවෙන් චීනයෙන් රුපියල් මිලියන 400 ක හදිසි මානුෂීය ආධා​ර තොගයක්

චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400කට ආසන්න වටිනාකමකින් යුත් හදිසි මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ගංවතුර ආපදා කටයුතු වෙනුවෙන් ලබා දුන් රුපියල් මිලියන 30 ක හදිසි ආධාරයට අමතරව මෙය ලබාදී ඇති බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ X පණිවිඩය පහතින්.

672339a204edd

වැඩ වර්ජනය නිසා දුම්රිය ධාවනයට බාධාවක් නැහැ – ස්ථානාධිපතිවරුන්ගේ සංගමය

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් ඇති නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ටිකට්පත් නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් පමණක් ඉවත් වී ඇති බවයි එසැණ වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව මගීන්ට ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රිය තුළ යාමට හැකි අතර ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීමක් සිදුනොවන බවද ඔහු සඳහන් කළා.

සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුනහොත් අදියර කිහිපයකින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කරයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

ඒ අනුව එහි පළමු අදියර ලෙස ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ කටයුතුවලින් ඉවත්වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අඛණ්ඩව සිදුවන දුම්රිය පිලී පැනීම්, දුම්රිය අවලංගුවීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය අපොහොසත්වීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ධූරය සුමති ධර්මවර්ධනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන සුමති ධර්මවර්ධන පත්කර තිබෙනවා.

නොවැම්බර් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපති නීතිඥයෙක් වන සුමති ධර්මවර්ධන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

දුම්රිය මැදිරියක තිබී උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ තොගයක් හමුවෙයි

මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කළ දුම්රියේ මැදිරියක තිබී උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ තොගයක් හමුවී ඇති බව බෙලිඅත්ත පොලිසිය පවසනවා.

ඒ අනුව ටී-56 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 57ක් මෙසේ හමුවූ බවයි පොලීසිය සඳහන් කළේ.

මරදානෙන් අද (29) උදෑසන 6.30ට පිටත්වූ දුම්රිය දහවල් 12.30 ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළගාවී ඇති අතර, පසුව යළිත් දුම්රිය ධාවනය කිරීමට පෙර සිදුකළ පරීක්ෂාවේදී මෙය හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යාවි – ලාෆ්ස් ගෑස් සමාගම

වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම පවසනවා.

බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවයි ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ඒවා වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

දකුණු පයාගල දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.