මේ දිනවල ළමා හතිය වැනි රෝග තත්ත්වයන් ව​ල ඉහළ යාමක් තිබෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

ළමා හතිය වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

මේ වන විටත් ඉන්ෆ්ලුවෙන්සා සහ ඒ හා සමාන වෛරස් උණ කිහිපයක් පැතිරගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

කැස්ස, හෙම්බිරිසාව, උණ පවතිනවා නම් දරුවන්ව නිවසේ තබාගන්නා ලෙසත්, රෝග ලක්ෂණ ඇත්නම් මුව ආවරණයක් පළඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රාත්‍රී කාලයේ කැස්ස ඇති වෙනවා නම් එය ළමා හතිය විය හැකි බවත්, කැස්ස, උණ සමග පපුව වේදනා ඇති නම්, උණ දිගටම පවතී නම්, නිව්මෝනියා තත්ත්වයට පත්ව ඇත්දැයි සොයා බැලිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1,323ක් වාර්තා වෙයි

මෙම වසරේ මුල් මාස 7 තුළ ළමා අපරාධ 1323 ක් වාර්තා වී ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

අදාළ කාලසීමාව තුළ ගැහැණු දරුවන් අපයෝජනයට පත්කිරීමේ සිදුවීම් 813 ක් වාර්තා වී ඇති බවයි එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ.

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට බලහත්කාරකම් කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 177 ක් බවද වැඩිදුරටත් සඳහන්.

මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක ධුරයක්

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු කම්කරු සහ විදේශ රැකියා පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

හරීන් ප්‍රනාන්දුට විශේෂ ජනාධිපති උපදේශක ධුරයක්

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

බෞද්ධ ශාසනයේ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබෙනවා.

රජගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම සහ බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුලු සිදුවීම් ගණනාවක් නිකිණි පොහොය දිනයේ සිදු වී තිබෙනවා.

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝළි පෙරහැර ද අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

ග්‍රාම නිලධාරි වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උපරිම දායකත්වය ලබාදීමේ අරමුණින් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස් කිරීම සඳහා ඉල්ලීම් කරමින් පසුගියදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

එමෙන්ම අගෝස්තු 12 සිට 18 දක්වා ක්‍රියාත්මක වූ කළු විරෝධතා සතිය සහ මැයි 17 සිට ක්‍රියාත්මක වූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයද අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරෙන බවයි එහි සභාපති නන්දන රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා 18% ක VAT බද්ද මුළුමනින්ම ඉවත් කරනවා – අනු​ර

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා 18% ක VAT බද්ද මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

පුරවැසියෙකුට කුසිගිනි වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු ලෙඩ වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු තම දරුවන්ට ඉගැන්වීමේදී බදු ගෙවීමට කීමද සාධාරණ නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

එබැවින් පුරවැසියන් කුසගින්න නිවා ගන්නා ආහාර සඳහා ද, ලෙඩට ගන්නා ඖෂධ සඳහාද, දරුවන් ඉගෙනීමට ගන්නා අධ්‍යාපනික උපකරණ සඳහාද දැනට ගෙවීමට සිදුව ඇති 18%ක VAT බද්ද 0% දක්වා අඩු කරන බව ඔහු සඳහන් කළා.

මෙසේ කී විට රජයට ආදායම් ලැබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින බවද, මෙතෙක් බදු පොලු තබා ඇති ප්‍රමාණය රුපියල් කෝටි 110,000ක් වන අතර ඉන් නඩු කටයුතු නොමැති කෝටි 16,900 ක් ආරම්භයේදීම අය කරගත හැකි බව සොයා බලා ඇති බවයි ඔහු සඳහන් කළේ.

දැනට පවතින බදු හරහා වසර 4ක් තුළ ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපනයෙන් අයකරගත හැකි VAT බද්ද ඊට වඩා අඩු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

නාමයෝජනා බාරදීමෙන් පසු මැතිවරණ කොමිසමට පැමිණිලි 3ක්

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසු, පැමිණිලි තුනක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මෙම පැමිණිලි තුන වාර්තා වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මැතිවරණ කොමිසම වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 437 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් හේතුවෙන් මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රජයේ විශ්‍රාමිකයින්ට අන්තර්කාලීන දීමනාව ගෙවීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

සියලුම රජයේ විශ්‍රාමිකයින් වෙත අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ඔත්තෝම්බර් මස සිට අදාළ දීමනාව ගෙවීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්.

66beef8db8021pdf_page_0