සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66ee4ddd71c06

ප්‍රදේශ කිහිපයකට මේ වන විට වැසි තත්ත්වයක්

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සහ ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට වැසි තත්ත්වයක් ඇදහැලෙමින් ඇති බව වාර්තා වනවා.

ඡන්ද දායකයින් වැසි සහිත කාලගුණ තත්ත්වය මධ්‍යයේ සිය ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විදෙස් ගතවීමට ගුවන් තොටුපලට පැමිණි ඩෑන් ප්‍රියසාද් හරවා යවයි

විදෙස්ගත වීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන් තොටුපොළින් නැවත හරවා යවා තිබෙනවා.

ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහුව හරවා යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඩෑන් ප්‍රියසාද් ඊයේ (20) රාත්‍රීයේ 08.35 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ EK 653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව තාවකාලිකව නවත්වයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව නිරාකරණය කරගන්නා තුරු සමීක්ෂණ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර කොළඹ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ඇරඹෙයි

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය අද (20) උදෑසන ආරම්භ කර තිබෙනවා.

මධ්‍යස්ථාන 13,421කට ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩලය ඒ අනුව යොමු කරන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

ඒ සඳහා පිහිටුවා ඇති නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1234 ක් වන අතර, ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක් ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

ප්‍රධාන ගණන් ගන්නා නිලධාරීන් ඇතුළු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් පිට පළාත් සඳහා යොමු කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටව යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අළුයම දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අද අලු‍යම 03:05 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK649 දරණ ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි වාර්තා වෙන්නේ.

දිවයිනේ සියලු රජයේ පාසල්වලට අද නිවාඩු

දිවයිනේ සියලු රජයේ පාසල්වලට අද (20) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

පාසල් රැසක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම සහ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මැතිවරණ රාජකාරිවල යෙදීම හේතුවෙන් මැතිවරණ කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

23 වැනි සඳුදා සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ට පොලීසියෙන් දැනුම්දීමක්

ඡන්දය පැවැත්වෙන දිනයේදී සිය ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ඡන්ද දායකයින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශයට පැමිණෙන පුද්ගලයින් වාහනයකින් පැමිණෙන්නේ නම්, එය මධ්‍යස්ථානයට බාධාවක් නොවන පරිදි ගාල් කර තබා ඡන්දය ප්‍රකාශ කිරීමට යන ලෙසත්, ආබාධිත පුද්ගලයින් රැගෙන එන, කළින් අවසර ලබාගත් වාහනවලට පමණක් ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

එසේම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඇඳගෙන පැමිණෙන ඇඳුම්වල හෝ බෑග්වල නොදැනුවත්ව හෝ තියුණු ආයුධ කොටස් තිබිය හැකි නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වී පැමිණීමෙන් අපහසුතාවයන්ට පත්වීමෙන් වැළකීමට හැකි බවද ඔහු සඳහන් කළා.

අධික ලෙස මත්පැන් පානය කර ඡන්ද මධ්‍යස්ථානවලට නොපැමිණෙන ලෙසත්, එසේම ඡංගම දුරකථන ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යාමට අවස්ථාව ලබා නොදෙන බවත්, යම් හෙයකින් වීඩියෝ ගත කිරීමක් හෝ ඡායාරූප ගත කිරීමක් සිදුකළහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මැතිවරණ ප්‍රතිඵල විකාශය වන අතරතුර, පුළුල් තිර යොදා ජනතාව ඒකරාශී කිරීම නීතියෙන් තහනම් – මැතිවරණ කොමිසමේ සභාපති

ඡන්ද දායකයින් විසින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ අවස්ථාව දක්වා නිවෙස්වල රැඳී සිටින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක දන්වා සිටිනවා.

ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ,  රූපවාහිනී හෝ පුළුල් තිර යොදා කණ්ඩායම් වශයෙන් මහා මාර්ගය අසළ එය නැරඹීම නොකළ යුතු බව අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.

මැතිවරණ ප්‍රතිඵල විකාශය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් රතිඤ්ඤා දල්වමින් පාරවල්වල විනෝද වීමද, ආලෝක බැලූන් ගුවනේ පා කර හැරීමද නීතියෙන් තහනම් බවයි ඔහු සඳහන් කළේ.

මෙලෙස එක්රැස්වීම් සියල්ල අයුතු ජන රාශිය යන වරදට යටත් වන බවත්, ඒවා විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධ වන පුද්ගලයින් ගැන ආරක්ෂක අංශ විසින් කටයුතු කරනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට 21 තෙක් තැපැල් කාර්යාලවලින් පත්‍රිකා ලබාගැනීමේ අවස්ථාව

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදාහැරීම මේ වනවිට සියල්ල අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින් සිටී නම්, අද (19) සිට 21 වැනිදා තෙක් තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගන්නා ලෙසයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබාගත හැකි අතර, කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද, හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.