O/L ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (28) මධ්‍යම රාත්‍රී නිකුත් කිරීමට කටයතු කළ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටළුව විමර්ශනයට අගමැතිනිය ස්වාධීන විශේෂඥ කමිටුවක් පත් කරයි

5 ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව විමර්ශනය කිරීම සඳහා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අද (28) විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත් කර තිබෙනවා.

අදාළ කමිටුව දින දෙකක් ඇතුළත සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර, ළමුන්ට අසාධාරණයක් නොවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගමැතිනියට නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවයි අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල මූලික වාර්තාවක් අමාත්‍යංශයට ලැබී ඇති බවද, සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් ද විමර්ශනයක් ක්‍රියාත්මක බවද ඇය සඳහන් කළා.

ජනපති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක් වෙයි

සාහිත්‍ය මාසය නිමිත්තෙන් 25 වන වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පෙරවරුවේ එක් වී තිබෙනවා.

පොත් ප්‍රදර්ශන කුටි 400කින් පමණ සමන්විත ප්‍රදර්ශනයේ කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලියනගේ අමරකිත්ති, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාර දික්කුඹුර, අධ්‍යක්ෂ සමන්ති ජයසූරිය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝදානික නිර්මාණ අංශයේ අංශාධිපති රුවන්දිකා සේනානායක මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 74ක්.

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් යළි කැඳවයි

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසනවා.

හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් නැවත කැඳවීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

නිල නිවාස සහ බංගලා භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම්දීමක්

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලු‍ම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාරදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ බව ලිඛිතව දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹේ

ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි පවසනවා.

ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවූ අවස්ථාවේදී ජපාන තානාපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද ජපාන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66f65c51aea55pdf_page_0

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්​ව භාර නොදීම ගැන පරීක්ෂණයක් පවත්වනවා – වසන්ත සමරසිංහ

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විධිමත්ව භාරදීමකින් තොරව, තැන් තැන්වල ගාල්කර යෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 833 ක් ලේඛණ ගතව ඇති බවත් එයින් වාහන 29 ක් අතුරුදන්ව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ වාහන තැන් තැන්වල ගාල් කරන ලද පිරිසගේ විස්තර මේ වනවිට ඉල්ලා ඇති බවයි වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද සුඛෝපභෝගී රථ වාහන රැසක් ගාලු මුවදොර බාලදක්ෂ මාවත අසල රථගාලට ඊයේ (24) සිට ගෙනැවිත් දමා තිබුණා.

66f3dc8a22178 66f3dc89c5b2e

ජනපති අනුර අද ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රී 7.30 ට එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට තවත් අයෙක් අත්අඩංගුවට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක් බවයි සඳහන් වෙන්නේ.

මෙම උපකාරක පංති ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.