ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනපති සමග සාකච්ඡාවක

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී කතාබහට ලක්වූ බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

එසේම එම අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සදහා කැදවා ඇතැයිද ඒ සදහා තමාද සහභාගීවීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

අද (ජුනි 14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අසන ලද පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

එසේම ශ්‍රී ලන්කන් ගුවන්සේවට සේවක සේවිකාවන් 1250ක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුුම මත බදවා ගෙන ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

රට තුළ ජාතිවාදයක් නැහැ – පැතිරෙන පුවත් අසත්‍යයි – ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි

රටේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වන සියල්ල සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය පුර්ණ සහයෝගය ත්‍රිවිධ හමුදාව ලෙස ලබා දීමට ඉදිරිපත් වන නමුත් මෙතෙක් එලෙස හමුදාවට කිරීමට තරම් දෙයක් රට තුළ ඇති වී නොමැති බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
“සංහිඳියාවයි සංග්‍රාම ශක්තියයි“නමින් හෙට(14) දිනයේ පැවැත් වීමට නියමිත රණවිරු උපහාර සංස්කෘතික ප්‍රසංගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ වන විට රටේ ජනතාවට විවිධ අංශ තුළින් නිදහස හිමි වී ඇති බවත් එය භුක්ති විදිමින් මාධ්‍ය පවා සමහර අවස්ථාවලදී හැසිරමින් සිටින බවත් ලේකම්වරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
සමහර අවස්ථාවලදී පුවත් සිරස්තල සඳහා එවැනි ජාතිවාදී පුවත් ආකර්ශනීය වුවද එය තුළ වු යථාර්ථය එවැන්නක් නොවන බවත් කරුණාසේන මහතා කියා සිටියේය.
කෙසේ වුවද රට තුළ බහුතරයක් තුළ සහජීවනය පවතින බවත් සුළුතරයක් වු අන්තවාදී පිරිස් නොයෙක් ප්‍රශ්න ඇති කරන බවත් පැවසු ලේකම්වරයා තව දුරටත් පවසා සිටියේ මාධ්‍ය අද වන විට සුළු දෙයක් අල්ලා ගෙන බරපතළ තත්ත්වයක් ගොඩ නැගීමට උත්සහ කරන බවත් කළ යුතු වන්නේ සියලු දෙනාට මෛත්‍රිය ඇති වන ලෙස කටයුතු කිරීමත් බවත්ය.

ගං වතුරෙන් විපතට පත් අයට සමෘධි සහනාධාර

පසුගිය දිනවල ඇතිවූ ගං වතුරෙන් හා නාය යාම් වලින් විපතට පත් ජනතාවගේ  නිවාස පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පිරිසිදු  කිරීමේ උපකරණ හා ද්‍රව්‍ය ඇතුළත් ආධාර පාර්සල් 50000ක් වහාම ලබා දීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

සමාජ සවිබල ගැන්වීම්  සුබසාධන හා උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ උපදෙස් මත සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ආධාර වැඩසටහන ක්‍රියාත්මක වන අතර කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත කොට්ඨාශයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආධාර පාර්සල් 5000ක් අද (10) දෙපාර්තමේන්තුව සතු ලොරි රථ වලින් කළුතර දිස්ත්‍රික්කයට ප්‍රවාහනය කරන ලදි.

වෙළෙඳපොලේ රුපියල් 1250ක් පමන වටිනාකමකින් යුත් දත්බුරුසු, සබන් , බිම පිරිසිදු කිරීමේ බුරුසු, ලයිසෝල් , හාපික් වැනි  ද්‍රව්‍ය මෙම පාර්සලයට අඩංගු බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරයා විසින්  ගංවතුරෙන් හා නායයාම් වලින් විපතට පත් අගලවත්ත ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කරනු ලැබූ අතර පසුගියදා ඇමැතිවරයා අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

එම ප්‍රදේශ වලට අමතරව දිවයිනේ සෙසු  ප්‍රදේශ වල විපතට පත් ජනතාව වෙනුවෙන්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය පාර්සල් ලබා දෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් බණ්ඩාර හපුහින්න මහතා පවසයි.

තමා අත් අඩංගවට ගැනීම නවත්වන්න – ඥානසාර හිමි

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජාතීන් අතර සුහදතාව කඩාකප්පල්කිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය මගින් කිසිදු විධිමත් පරීක්ෂණයක් නොපවත්වා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව උන්වහන්සේ තම පෙත්සමෙන් පෙන්වාදී තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්   ලෙස සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසයේ ස්ථානාධිපති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇති බව අධිකරණවාර්තා සනාථ කර සිටියි.

මේ අනුව නිසි පරීක්ෂණයක් පවත්වා අවසන් වන තුරු හෝ නීතිපති උපදෙස් ලැබෙනතුරු තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඥානසාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

උතුරේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස් වෙයි

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි. කුරුකුලරාජා මහතා වෙත එල්ලවී පවතින දූෂණ හා වංචා චෝදනා හමුවේ සිය අමාත්‍යධූරයෙන් ඉවත්වන බවට පවසමින් කුරුකුලරාජා මහතා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී ඇති බැව් පක්ෂ සාමාජිකයින් පවසයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ සාමාජිකයින් පැවසූවේ තමන්ට තවදුරටත් පළාත් අමාත්‍යධූරයේ සේවය කළ නොහැකි බවට සඳහන් කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බවයි.

එහිදි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා විසිල් ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නොමැති අතර, සේනාධිරාජා මහතා කුරුකුලරාජා මහතා වෙත පවසා ඇත්තේ තවමත් අදාළ චෝදනා සම්බන්ධයෙන් පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ එකඟතාවය ලැබී නොමැති බැවින් ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

අදාළ අවස්ථාවේදී කුරුකුලරාජා මහතා ඉල්ලා අස්වීමේ ලිපිය බාරගන්නා ලෙස ලෙසට බලකොට ඇති බැවින් පසුව සේනාධිරාජා මහතා අදාළ ලිපිය බාරගෙන ඇති අතර,එය නිල සිදුවීමක් නොවන බවට පක්ෂ නියෝජිතයින් ප‍්‍රකාශ කොට ඇත.

පළාත් සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් පැවසූවේ කුරුකුලරාජා මහතා විසින් පළාත් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සේනාධිරාජා මහතා වෙත බාරදීම විහිළු සහගත ක‍්‍රියාවක් වන අතර, පළාත් සභා අමාත්‍යවරයෙකු පදවියෙන් ඉල්ලා අස්වීම සිදුකරන්නේ නම් ඉල්ලා අස්වීමේ  ලිපිය පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත හෝ පළාත් සභාව වෙත බාරදිය යුතු බවයි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇමරිකානු සමාගමකට පැවරීමේ සූදානමක්

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අමෙරිකානු සමාගමකට පැවරීමේ සූදානමක් පවතින බව රජයේ මිනින්දෝරු සංගමය සභාපති දුමින්ද උඩුගොඩ මහතා සඳහන් කළේ ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉඩම් අමාත්‍යාංශය මඟින් සම්මත කර ගැනිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

ජෝන් අමරතුංග මහතා ඉඩම් අමාත්‍යවරයාව සිටියදී ද අමාත්‍ය මණ්ඩලයට මෙවැනිම යෝජනාවක් ඉදිරිපත්ව ඇති අතර ඇති වූ විරෝධතා සැලකිල්ලට ගෙන ඔහු  එය ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත් නව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මිනින්දෝරු දෙපාර්තමේන්තුව අමෙරිකානු සමාගමකට පැවරිය යුතු බවට දැඩි ස්ථාවරයක පසුවන බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ මහතා සඳහන් කළේය.

විශේෂ කෙනෙක් හිතේ ඉන්නවා – තිවංක අශ්වින්

තිවංක අශ්වින් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට අමුත්තෙක් නෙවෙයි.නිරූපණ අංශයේ තරඟයකින් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණි ඔවු මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයේ හා රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරමින් සිටිනවා.බොස්ටන් ලංකා වෙනුවෙන් තිවංක දැක්වූ කෙටි පිළිසඳරක් මේ.

තිවංක කොහොමද ක්ෂේත්‍රයට එන්නේ ?

ඇත්තටම මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ අහම්බයකින් කීවොත් නිවැරදී.2014 දී පවත්වන ලද  නිරූපණය හා සම්බන්ද තරඟයකින් පසුව තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ

FB_IMG_1492161257339FB_IMG_1487441506453FB_IMG_1491210784613FB_IMG_1492510902462-1

ඔබ නීති ශිෂ්‍යයෙක්,ඒ වගේම නිරූපණ ශිල්පියෙක්. අන්ත දෙකක් ඔබ එකවර නියෝජනය කරනවා.කොහොමද මේ වෙනස බැලන්ස් කරන්නේ ?

මම මේ වන විට අවසන් වසර නීති ශිෂ්‍යයෙක්.ඒ වගේම මානව සම්පත් කළමණාකරන උපාධි පාඨමාලාවේ අවසන් දින කිහිපය මේ වෙනකොටත් ගත වෙන්නේ.ඔබ කීවා වගේ මේ අන්ත දෙක බැලන්ස් කරන්න ටිකක් අමාරුයි තමයි.අර කතාවට කියනවා වගේ හිතුවොත් කරන්න බැරි දෙයක් නෑනේ.ඒ නිසා හැමදේම අභියෝග විදිහට අරන් අභියෝග වලට සතුටින් මුහුණ දෙනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපණ ශිල්පිනියන්ට තියෙන තැන ශිල්පියෝන්ට නෑ නේද ? මොකක් ද ඒකට හේතුව ?

එහෙම වෙන්නත් පුළුවන්,නොවෙන්නත් පුළුවන් කියන තැනක මම ඉන්නේ.හැබැයි ඊටත් වඩා මම විස්වාස කරන දක්ෂතාවය,නිසි හැදෑරීම සහ කැපවීම දවසක නියමිත කෙනාව සොයාගෙන එයි කියලා.ඒ කෙනා කාන්තාවක්ද පිරිමියෙක් ද කියලා එතනදි අදාළ වෙන්නේ නෑ මම හිතන්නේ

FB_IMG_1491663582637FB_IMG_1490881765781

නිරූපණ ක්ෂේත්‍රයට පිරිමියෙක් යොමු වීම තුළ ආර්ථිකමය අතින් වාසි දායක ද ? නිරූපණ ශිල්පියෙක් වෙලා පවුලක් නඩත්තු කරන්න  පුළුවන් ද ?

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය වාණිජමය පදනමක් සහිතව ගොඩ නැගිලා නැති නිසා ඔබ ඔය කියන තත්ත්වය යම් මට්ටමකට පවතිනවා.උදාහරණයක් වශයෙන් ගත්තොත් අවස්ථාවන් පවතින්නේ සීමිත ප්‍රමාණයක්.ඊට සාපේක්ෂව යුරෝපය වගේ ගත්තොත් නිරූපණ ක්ෂේත්‍රය ම පදනම් වුණ ඉන්ඩස්ට්‍රියක් නිර්මාණය වෙලා තියෙනවා.ඉතින් අර ඔබ කිව්වා වගේ එහෙම බලද්දී සාපේක්ෂව ආර්ථිකමය අතින් අපි ඔවුන්ට වඩා පසු පසින් ඉන්නවා වෙන්න පුළුවන්.පවුලක් නඩත්තු කිරීම කියන කාරණයෙදී ඉතින් මුදල් නිසි පරිදි කළමනාකරණය කරගැනීමයි වැදගත්.කෝටියක් මාසෙකට ලැබුණත් වැඩක් නෑ කලමනාකරණය අසමත් නම්

තිවංක දැන් පෙම්වතෙක් ද

විශේෂ කෙනෙක් හිතේ ඉන්නවා.බලමු ඉතින් ඉදිරියට.කාලය ඒ දේවල් තීරණය කරාවි

මොනවද තිවංකගේ අලුත් වැඩ කටයුතු .. අවසාන වශයෙන් ඒ ගැනත් කියමු නේද ?

මේ කාල වකවානුවේ නම් අධ්‍යාපන කටයුතු වලට වැඩි අවධානයක් දීලා තියෙන්නේ.උපාධි දෙකේම අවසාන මාස දෙක ගෙවෙන්නේ.ඒ අතර තුර නිරූපණ වැඩ කටයුතු ‍තෝරා බේරාගෙන කරගෙන යනවා.ඊට අමතරව මම විසින්ම රචනා කළ ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

ඔබ දිගටම නිරූපණ ක්ෂේත්‍රයේ ‍රැඳී ඉන්න බලාපොරොත්තුවෙනවද ?

නිරූපණ ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු ලෙස ඉදිරියටත් මම සම්බන්ද වේවි.

සංඛ රඹුක්වැල්ල

 

 

කොළඹ ප්‍රෙද්ශයේ මුස්ලිම් කඩ ගිනි තැබූ අයට වැඩ වරදී

කොළඹ ප්‍රෙද්ශයේ මුස්ලිම් කඩ 4ක් ගිනි තැබීමේ සැකකරු වශයෙන් හදුනා ගත් පුද්ගලයෙකු  අද දින නුගේගොඩ, මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල කඩසාප්පුවල තිබූ සීසී ටී.වී කැමරා දර්ශන ආධාරයෙන් සැකකරු හදුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත.  බොදු බලසේනා   මගින් පවත්වන ලද රැස්වීම් කිහිපයකටම සහභාගී වී ලද මානසික විපර්යාසය මුල්කොටගෙන ඔහු විසින් හොර රහසේ තනිව මෙම ගිනි තැබීම් කර ඇති බව වාර්තා වේ

 බස්නාහිර පළාත් දකුණ, නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහතා යන නිළධාරීන්ගේ මෙහෙයුම යටතේ  මූලස්ස්ථාන පොලිස්පරීක්ෂක විජේවර්ධන සහ මූලස්ස්ථාන පොලිස්පරීක්ෂක  ජයවර්ධන ඇතුළු නිළධාරීන් විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත. 

ගං වතුර බැස ගියා…ඊට පස්සෙ? සැගවුණු ගම්මාන දෙකක් තවමත් හුදකලාවේ

සටහන: නිරාශා පියවදනි
 

මහ මග අයිනේ අතොරක් නැතිව බලා සිටි මේ ඇස්  අපිව නතර කරන්නට සමත් වුණා. ඒත් අපිට ඕන වුණේ ගං වතුරෙන් විපතට පත් කළුතර වැසියන් රැදී සිටින කදවුරු සොයා ගිය ගමනට මං සලකුණු අසා ගන්නට. ඔවුන් අප කරා දිව  ආවේ දරා ගත නොහැකි කුසගින්න නිවා ගන්න මං සලකුණු සොයා ගන්නට.

එ් නිසාම මේ හමුව කුතුහලයෙන් අනූන හමුවීමක් වුණා.

 
“අපි මේ බැලුවෙ සහනාධාර දෙන්න ආපු කට්ටියක්ද කියලා. උදේ ඉදන් පාරට වෙලා බලන් ඉන්නෙ බඩගින්න නිසා. අපේ ගම් ගංවතුරෙන් යට වෙලා අද තමයි වතුර බැහැලා ගිහින් පාරට එන්න පුළුවන් වුණේ. මේ වෙනතුරු ග්‍රාමසේවකවත් වෙන කිසිම කෙනෙක් අපේ ගමට  ආවෙ නැහැ. ”
 
එතන සිටි එක අම්මා කෙනෙක් හඩ අවධි  කළේ එහෙම. ඇය නූර්දා. 
 
“මොකක්ද මේ ගම? ලිස්ටින් වත්ත”
 
“ඒ කිවුවෙ? අලුකෙටිය තමයි ගමේ නම. අපි ඉන්න වත්තට කියන්නෙ ලිස්ටින් වත්ත.
 
 පාරෙ ආධාර බෙදාගෙන යන අය මෙහෙම ගමක් තියනවද කියලවත් දන්නෙ නෑ.. තවත් මව්වරුන් දෙනෙකු එක්කාසු කරගෙන මහ පාර අයිනට වී බලා හිටි කතාන්දරය හෙළි කළේ එහෙම. ඇය කියපු විදියට ඒ ගම විතරක් නෙවෙයි ඇගේ ගම ළගින්ම ගලාගෙන යන කළු ගගෙන් එහා පැත්තෙ තියන කූල්ගා ගමටත් සිද්ධ වෙලා තිබුණෙ මේ ඉරණමමයි.”
Flood 18
මෙවර ගංවතුර තත්ත්වයෙන් වැඩිම ආපදාවට මුහුණ දුන් දිස්ත්‍රික්ක අතරින් කළුතර දිස්ත්‍රික්කයට හිමි වුණේ මුල්තැනක්. ඒත් කළුතර බුලත්සිංහල ප්‍රෙද්ශයේ පිහිටලා තියන මේ ගම්මාන දෙකට පින්වත් බලධාරීන්ගේ ඇස් යොමු වෙලා තිබුණෙ නැහැ. මාධ්‍යෙය්  උකුසු ඇස්වලටවත් හසු නොවී ඔවුන් හුදකලා වී සිටි හැටි පුදුමසහගතයි. 
 
කූල්ගා? ඔව් ඒ ගමානයේ නමනම් ඔබට වගේම මටත් ඉතාම නුහුරුයි. ඒ නුහුරුකම නිසාම වෙන්නඇති මේ අපේම අය මේ විදියට මගහැරෙන්න ඇත්තෙ.
Flood 22 Flood 23 Flood 24
 
කූල්ගා ගම්මානයේ සුබේදා හොරණ තක්ෂිලා විද්‍යාලයේ පුස්තකාලයේ සේවයේ නියුතු යෞවනියක්. ඇය තමන් මුහුණ දීපු ගංවතුර අත්දැකීම විස්තර කළේ මෙහෙම.
 
“ගංවතුර ආපු වෙලාවෙත් අපිට පිහිට වෙන්න කිසි කිනෙක් හිටියෙ නැහැ. අපි අපිම එකතු වෙලා ගමේ තිබුණු කැඩුණු බෝට්ටුවකින් කූල්ගා බංගලාවට ගිහින් බේරුණා. ඒත් මේ වෙනකන් වගකිවයුතු  කිසිම කෙනෙක් අපිට වචනෙකින්වත් පිහිටක් වෙන්න ආවෙ නැහැ. මීඩියා වලින් මේ අපේ ගමට ආපු පළවෙනි වතාව. 
Flood 15 Flood 16 Flood 17Flood 21 
අපිම ගිහින්  ආධාර ඉල්ලුවා. ඔයාලට වැඩිය හානි වුණු අය ඉන්නවා ඒ නිසා කිසිම ආධාරයක් දෙන්න බෑ කියලා කිව්වා. අපේ ගමේ ගෙවල් දෙකක් කැඩී ගිහින් විනාස වෙලා. පින් සිද්ධ වෙනවා කාටහරි පුළුවන්නම් විපතට පත් වුණු අපේ ගමේ අයට උදව් උපකාර කරන්න. “
 
ගංවතුර දැන් බැස ගිහින්. වතුරට යට වුණු ගෙවල් සහ ජනතාව දුටු සැණින්ම හදවත් උණු වෙලා ගිහින් ආධාර බෙදන්න යුහුසුළු වෙන්නෙ ශ්‍රී ලාංකිකත්වයේ තවමත් මැරිලා නැති මනුෂ්‍යත්වය නිසා වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ජනතාව විසින්ම දුක් මහන්සියෙන් එක්රැස් කරලා ලබා දීපු ආධාර නිසි සැලසුමක් ඇතුව ආපදාවට පත් වුණු ජනතාව අතට පත් වුණාද?
 
ඒකට හරියටම උත්තර දෙන්න පුළුවන් ගංවතුරෙන් සැබෑවටම පීඩාවට පත් වුණු අයට විතරයි. වසර 15ක් පුරා ගංවතුර තත්ත්වයෙන් බැට කෑ කොළඹ ප්‍රෙද්ශයේ වැසියෙක් ගංවතුර ගැන ආරංචිය කණ වැකුණු සැණින් අපිව සම්බන්ධ කරගෙන කියූ මේ කතාව කූල්ගා සහ අලුකෙටිය ගම් වැසියන්ගේ කතාව වඩාත් සනාථ කරනවා.
 
“වතුර දැක්ක ගමන් මිනිස්සු හිත උණු වෙලා ආධාර අරගෙන දුවනවා. ඒත් ඒ කාටවත් හිතෙන්නෙ නෑ වතුරට යට වෙලා ඉන්න මිනිස්සු කොහොමද මේ ආධාර අරන් තියා ගන්නෙ කියලා. 
 
ලොරිවල පටවගෙන යන ආධාර වැඩි හරියක් යන්නෙ ගේ ඉස්සරහින්වත් වතුර පාරක් ගියෙ නැති පාර දෙපැත්තෙ ඉන්න ජනතාවට. ඒ අය දුවගෙන ඇවිත් බෙදන ආධාර ඩැහැ ගන්නවා. කෑම බීම වතුර බෙදුවට කමක් නැහැ. අනිත් කල් තියා ගන්න පුළුවන් වියළි ආහාර වෙනත් ආධාර මේ ගං වතුර බැහැලා යනකන් ඉවසීමෙන් ප්‍රෙව්ශම් කරලා තියා ගන්න. වතුර බැහැලා ගිහින් පාරවල් පැහැදිලි වුණාම පහසුවෙන් වාහනේකින් ගිහින් මේ අයගෙ අතටම දෙන්න. බෝට්ටුවකින් යනවට වඩා ආදාර බෙදන අයටත් පහසු ඒ ක්‍රමය. ඒත් බෝට්ටුවකින් ගිහින් අමාරුවෙන් ඒ අයට දෙන්න උත්සහ කරන්නයි වැඩි පිරිසකට ඕන. ඒකට හේතුව ආධාර බෙදන බොහොමයක් අයට ගංවතුරෙන් පීඩා විදීමේ නියම අත්දැකීම නැහැ. ඒත් මේ බෙදන ආධාරවල සැබෑ අවශ්‍යතාව මතු වෙන්නෙ ගංවතුර බැහැලා ගිහින් ගේ දොර විනාශ වුණු මිනිස්සු වැලේ වැල් නැතුව ආයෙ ජීවිතේ නැගිටින්න උත්සහ කරනකොට..ඒත් එතකොට කිසිම දෙයක් ඒ අයට ඉතුරු වෙලා නැහැ.
 
ඒ වගේම දෙන ආධාරයක් අතරමැදියන්ට නොදී විපතට පත් වුණු ජනතාව අතටම දෙන්න පුළුවන්නම් වටිනාකම කියලා නිම කරන්න බැහැ.”
 
මේ ශෝකාලාපය ඇසෙන්නේ කළුතරින් පමණක් නොවේ..රත්නපුර මාතර තෙලිජ්ජවිල ගාල්ල යන දිස්ත්‍රික්කවලින්ද මෙවන් ඛේදනීය පුවත් රැසක් අපිට වාර්තා වුණා.
කුල්ගා සහ අලුකෙටිය ගමේ වැසියන් අයැද සිටින්නේ දහසින් බැදි පියලි නොවේ..නැගී සිටින්නට ශක්තියක් පමණි…තවමත් ආධර බෙදන පිරිස් සිටියිනම් ඔබේ කාරුණික නෙත් මේ සැගවුණු ගම් වැසියන් වෙත යොමු කරන්න.
 

Subedha – 0772635856 (කූල්ගා ගම්මානය)

Darshani   –0771144947 (අලුකෙටිය ගම්මානය)

සුනාමි අවදානමක් ගැන පැතිරුණු අසත්‍ය කට කතා වලට රැවටෙන්න එපා

අසත්‍ය ප්‍රචාරයන්ට සහ කටකතාවලට නොරැවටෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
යම් ආපදා තත්ත්වයක් ඇත්නම් අදාළ තාක්ෂණික ආයතන සමඟ එක්ව ආපදා කළනාකරණ මධ්‍යාස්ථානය නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිළි මහතා සඳහන් කළේය.
සුනාමි අවදානමක් ඇති බවට පැතිරුණු අසත්‍ය කටකතාවක් හේතුවෙන් අද(05) පෙරවරුවේ හික්කඩුව  ප්‍රදේශයේ වෙරළබඩ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් පැවැති බවට වාර්තා වූ බව ඔහු මෙහිදී කියා සිටියේය.
කෙසේවෙතත් එවැනි යම් ප්‍රචාරයක් පිළිබඳව නිවැරදිව දැන ගැනිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකය අමතන ලෙස ද ප්‍රදීප් කොඩිපිළි මහතා ජනතාවට දැනුම් දෙයි.