කාදිනල් හිමිපාණන් මුණ ගැසෙන්න සජිත් සහ හරින් යයි

සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද කොළඹ අදරගුරු නිවසේදී කාදිනල් හිමිපාණන් මුණගැසී තිබෙනවා.‬

මෙම හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිතියේ පසුගිය කාලයේදී ඇතිවූ විවිධ ව්‍යාකුලත්වය සම්බන්ධයෙන් සාකච්ජා කොට සියළු දෙනා නිවැරදී තැනකට පැමිණි බවයි.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් පසුගියදා පැවති දේශපාලන රැස්වීමක් අතරතුර සිදුකළ ප්‍රකාශය මෙරට දැඩි කතාබහකට ලක්වුවා.

ලෝක මුස්ලිම් ලීගයෙන් හිටපු ජනපතිට දුන් ඩොලර් මිලියන 05 ට මොකද වුනේ ?

පසුගිය වසරේ අප්‍රේල් මස 21 සිදුවුණු පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික පල්ලිවලට සහ ජනතාවට සහන සැලසීමට ලෝක මුස්ලිම් ලීගය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක මුදලක් පිළිබදව කිසිදු තොරතුරක් නොමැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් සෙත් සරණ ආයතනයේ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා කියා සිටිනවා.
එම මුදල ඩුබායිහි පිහිටි මුස්ලිම් වර්ල්ඩ් ලීග් සංවිධානය විසින් ලබාදුන් අතර ඒ සදහා අදාළ චෙක්පතක අනුරුවක් හිටපු ජනාධිපති සිරිසේන මහතාට නෙළුම් පොකුණ රගහලේදී පැවැති උත්සවයකදී ලබා දුන් බවත් ඔහු කියා සිටියේ.
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙරටට ලබාදුන් ආධාර සහ පල්ලිවලට ලබා දුන් ආධාර සම්බන්ධව සාක්ෂි විමසීමේදී කරුණු දක්වමින් රාමනායක පියතුමා තව දුරටත් කියා සිටියේ එසේ ලබා දුන්නේයැයි කියන මුදලෙන් කිසිදු දායකත්වයක් කතෝලික ජනතාවට නොලැබුණු බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් අවශ්‍ය හැම කෙනෙකුටම පැවසුවද අද වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු විභාගයක් සිදු වී නොමැති බවත් රාමනායක පියතුමා ප්‍රකාශ කර සිටියා.

“සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් “සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අදාළ සැකකරුවන් අද (26) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මෙලෙස වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර සිටියා.
මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී අදාළ සැකකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටි අතර මෙම පැමිණිල්ලේ තුන්වන සහ හතරවන සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය පමණක් අධිකරණයේ පෙනී සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් වෙනත් කොල්ලකෑම සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව දැනගන්නට තිබුණද ඒ බව නිල වශයෙන් දැනුම් දී නැති බව වාර්තා වේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර සිටියා.

කාදිනල් හිමියන්ගේ ෆයිල් මං ගාව : රංජන් රාමනායක කියයි

කාදිනල් හිමියන් ගැන තමන්ටද විවේචනයක් ඇතැයි හිටපු රාජ්‍ය ඇමති සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක සඳහන් කරයි.
තමන් සතුව කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් ඇති බව ද ඔහු පවසයි.
නමුත් එම තොරතුරු මේ මොහොතේ හෙළි කිරීමට තමන්ට නොහැකි බවද ඔහු කියා සිටී.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ආගමික නායකයන් ගැන ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබීම නිසා මෙම හෙළිදරව් සිදු නොකරන බව ද ඔහු පවසයි.
කෙසේ නමුත් අවශ්‍ය මොහොතේදී සියළු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

කරුණා අත්අඩංගුවට ගන්න – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නැගෙනහිර සන්නද්ධ නායක කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා  අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
පසුගිය දිනක කරුණා අම්මන් විසින් යුධ හමුදා සෙබලුන් 2000 ක් 3000 ක් අතර පිරිසක් ඝාතනය කළ බවට වන ප්‍රකාශයට අදාළව ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ.

එතනෝල් ආනයන තහනම ඉවත් කරන්නේ නැහැ : සම කැබිනට් ප්‍රකාශක

ලංකාවට එතනෝල් ආනයනය කිරිමට පනවා තිබු තහනම කිසිදු ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කරනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භක කාල සිමාවේදීම මෙරට එතනෝල් ආනයනය කිරිම අත්හිටවනු ලැබුවා.
ඒ රජයට අයත් දේශීය සමාගම් දෙකක් වන ලංකා සුගර් ලිමිටඩ් පැලවත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලා වලින් සිදුකරන සීනි නිෂ්පාදනය සමග එතනෝල් නිෂ්පාදනය සිදුකරනවා. එම සමාගම් වලින් නිෂ්පාදනය කරන එතනෝල් මෙරටට සෑහෙනවා.
ලංකාවේ නිෂ්පාදනය කරන එතනෝල් සඳහා ස්ථාවර මිලක්  නියම කිරීම තුලින් එම සමාගම්වලට මේ වන විට ආදායම් ලබමින් තිබෙන බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියේ.
රජය විසින් ආනයනය සීමා කර තිබියදීත් මෙරටට ගෙන්වූ විශාල එතනෝල් ප්‍රමාණයක් වරායේ රඳවා තබාගෙන ඇති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

කටුනායක ගුවන් තොටුපොළ විවෘත කරන්නේ අගෝස්තු 15ට පසුවයි : ප්‍රසන්න රණතුංග

කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරිම අගෝස්තු මස 15 වෙනිදා දක්වා ප්‍රමාද වනු ඇති බව සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටිනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කලේ ඇතැම් විට ගුවන් තොටුපොළ විවෘත කිරිමේ කාලය අගෝස්තු මස අවසානය දක්වා දීර්ඝ වීමේ හැකියාවක් ද ඇති බවයි.
අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට ලංකාවට ඒම සඳහා 50,000 කට අධික ලාංකිකයින් පිරිසක් විදේශ රටවල පිහිටි තානාපති කාර්යාලවල ලියාපදිංචිවී ඇති බවත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔවුන් සියලු දෙනාව ක්‍රමානුකුලව දිවයිනට රැගෙන එන බවයි.
එමෙන්ම ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු ලංකාවට පැමිණෙන විදේශිකයින් එරටින් PCR පරීක්ෂණය කොට ලංකාවට පැමිණිය යුතු බවත් මෙරටදී ද ඔහුව පරීක්ෂණයකට ලක් කොට දීන 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බව ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.