පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

88 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හදිසියේ රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා්‍.

ඒ අනුව, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනයක් (බ්‍රොන්කයිටිස්) හේතුවෙන් පාප් වහන්සේ රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළ බවත්, එතුමා තවදුරටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි දැක්වෙන්නේ.‍

කෙසේ වුවත්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

නවීන් දිසානායක එජාප උප සභාපති ලෙස පත්කෙරේ

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක පත් කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ (14) පැවැති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ.

නවීන් දිසානායක මීට පෙර අමාත්‍යවරයෙක් ලෙස මෙන්ම, ආණ්ඩුකාරවරයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

දියලුම දිය ඇල්ලේ ගිලෙන්නට ගිය තරුණයෙක් මැලේසියානු කාන්තාවක් විසින් බේරා ගනියි

දියලුම දිය ඇල්ල අසල සිදුවූ හදිසි අනතුරක් අවස්ථාවේදී දියේ ගිලීමට ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු මෙරට සංචාරයක නිරත වූ මැලේසියානු කාන්තාවක විසින් වහා ක්‍රියාත්මක වී බේරාගෙන තිබෙනවා.

Farah Putri Mulyani නමැති මෙම මැලේසියානු සංචාරක කාන්තාව විසින් YouTube වීඩියෝවක් පටිගත කරමින් සිටින අවස්ථාවේදී අදාළ තරුණයා දියේ ගිලෙමින් සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ඇය වහාම ක්‍රියාත්මක වෙමින් දියට පැන, එම තරුණයා ගොඩබිමට ගෙන ඒමට සමත් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාරිසරික ප්‍රශ්න කඩිනමින් විසඳීමට WhatsApp අංකයක් හඳුන්වා දෙයි

පාරිසරික ප්‍රශ්න සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට පරිසර අමාත්‍යංශයෙන් WhatsApp අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් ද, පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ද මෙම නව WhatsApp අංකය හඳුන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, 076-6412029 යන දුරකථන අංකයට කෙටි පණිවුඩ වශයෙන් පමණක් පරිසර ප්‍රශ්න යොමු කරන ලෙසයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මෙලෙස යොමු කරනු ලබන ප්‍රශ්න පරිසර අමාත්‍යංශය විසින් අදාළ ආයතන වෙත යොමු කර කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත්, පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය අද සිට මොරටුවෙන් ගමන් ආරම්භ කෙරේ

කන්කසන්තුරේ බලා ධාවනය වූ දුම්රිය අද දින සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 6.55 ට ගමන් ආරම්භ කොට, කොටුව දුම්රිය ස්ථනයට පැමිණෙන අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් එය රාත්‍රී 8.00 ට කන්කසන්තුරය බලා ධාවනය වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන, සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඔවුන්ට මෙලෙස චෝදනා ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙසේ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම අධිචෝදනාව පත්‍ර ගොනු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් ඉදිරිපත් කළ ඇප පෙත්සම ඉල්ලා අස්කර ගනියි

තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

2014 වසරේ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට නඩු පවරා තිබූ බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම මෙම සිද්ධියට අදාළ නඩුකරය පිළිබඳව 2015 වසරේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති අතර, ඊට අදාළව පෙත්සම්කරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් මහෙස්ත්‍රාත්වරයා වෙත ලබා දී තිබෙනවා.

මෙහිදී පෙත්සම්කාර ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සඳහන් කළේ, මෙම සිද්ධියට සම්බන්ධ නඩුකරය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින හෙයින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර පතන බවත්, මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම සුදුසු අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවයි.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ අපේක්ෂිත ඇප අයදුම්පත ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කර තිබෙනවා.

විදුලිය බිඳ වැටුණේ ඉංජිනේරු වඳුරු සෙට් එකක් නිසා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

පසුගියදා දිවයින පුරා විදුලිය බිඳ වැටීමට ලක් වූයේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වරදින් බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඉල්ලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ බිඳ වැටීම සිදුවන දිනයේ පැලවත්ත විදුලි කළමණාකරන මධ්‍යස්ථානයේ අදාළ අංශයේ සේවකයින් තිදෙනෙක් රාජකාරී කළ යුතු වුවද, ඔවුන් එහි සිට නොමැති බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ.

මෙම සිදුවීම සිදුවීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය විසින් කඩිමුඩියේ අදාළ ස්ථානයට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

චේතාන්විතව රාජකාරිය පැහැර හැරීම යටතේ අදාළ නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙසයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුත්තේ සියල්ලන්ටම සම බිමක් හිමිවන පරිදියි – රංජිත් මද්දුමබණ්ඩාර

සියල්ලන්ටම සම බිමක් හිමිවන පරිදි, මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඒ අනුව, ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට සූදානම් වන කාලය තුළ අයවැය විවාදය පැවැත්වෙන බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ.

අයවැය විවාදයේදී වැඩි අවස්ථාවක් විපක්ෂයට හිමිවන බැවින්, පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය පවත්වා ගනිමින් විවාදවලට සහභාගීවීමට සිදුවන බවත්, මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් වැඩි පිරිසකට පාර්ලිමේන්තුවට සිරවී සිටීමට සිදුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

එසේම සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වෙන බවත්, පක්ෂවලට විශාල මුදලක් නොමැති නිසා මීට පෙර තැන්පත් කළ ඇප මුදල් නිදහස් කර දිය යුතු බවත්, පවතින ගැටලු නිරාකරණය කර ගනිමින්, අප්‍රේල් මාසයෙන් පසුව මෙම මැතිවරණය පැවැත්විය යුතු බවත්, තමන් මැතිවරණයට සූදානම් බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 02ක් පොලිස් භාරයට

එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 02ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව එකම අංකයෙන් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ 02ක් දෙහිවල හා කැලණිය, දළුගම යන ප්‍රදේශවල සැරිසරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මෝටර් රථ සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට එම රථ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.