රට තුළ කිසිඳු තෙල් හිඟයක් නැහැ, ඇතිවෙන්න ඉඩ දෙන්නෙත් නැහැ – අනිල් ජයන්ත

මෙරට තුළ කිසිඳු තෙල් හිඟයක් නොමැති බවත්, තෙල් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.

යම් වෘත්තීය සමිති කණ්ඩායමක් විසින් ලබාදුන් ප්‍රකාශයක් හරහා මෙම ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බවයි අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බෙදුම්කරුවන් ඉන්ධන ඇනවුම් සිදු කරන්නේ තනි තනිව බවත්, කිසිඳු අවස්ථාවක වෘත්තීය සමිතියක් ලෙස ඉන්ධන ඇනවුම් සිදු නොකරන අතර සාමාන්‍යයෙන් දවසකට ඇනවුම් 1200 ක් ලැබුණද මෙම දින දෙකට පමණක් ඇනවුම් 1800 ක් පමණ ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වෙළඳපොළ තුළ හිඟයක් මවා, යම් අනවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා නම්, එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

හාලිඇල හා බදුල්ල අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.

එසේම, ඉඟුරුඔය හා ගලබොඩ අතර දී ගසක් කඩා වැටීම නිසා ද ධාවනයට බාධා ඇති වී තිබෙන බවයි සඳහන් වන්නේ.

එම බාධක ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියා.

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (28) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, එම අපරාධය මෙහෙයවීමට භාවිත කරන ලද සිම්පත් ලබාදී, මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම යටතේ සැකපිට මැදගොව්ව, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි උදාර නිර්මාල් ගුණරත්න නම් 28 හැවිරිදි පුද්ගලයෙක් ද, මිනුවන්ගොඩ පාර, දූනගහ ප්‍රදේශයේ පදිංචි නලින් දුෂ්‍යන්ත නම් 31 හැවිරිදි පුද්ගලයෙක් ද එසේ අත්අඩංගුවට පත්වී ඇති බවයි සඳහන් වන්නේ.

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් තිස්සේ පිළිකා රෝගයකින් පීඩා විඳිමින්, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඇය මිය යන විට 61 හැවිරිදි වියේ පසු වූ බවයි සඳහන් වන්නේ.

චාරුලතා, සුජාතා, කන්දේ ගෙදර, වනවදුලේ වසන්තය, ගංගා සහ නිස්සංක, මනෝකාය වැනි ටෙලිනාට්‍ය නිර්මාණවලට ද, සරෝජා, රන්කෙවිට, වීරවර්ණ, වන් ශොට්, උඩුගං යාමය, ප්‍රවේගය, නිදහසේ පියා DS වැනි චිත්‍රපටවලට ද ඇය රංගන දායකත්වය ලබා දුන්නා‍.

IMF සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

ශ්‍රී ලංකාව සමඟ වන මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ IMF විධායක මණ්ඩලයේ තුන්වන සමාලෝචනය සම්පූර්ණ කළ අතර, එමඟින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 334 ක ක්ෂණික ප්‍රවේශයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා ලබා දී ඇති මුළු IMF මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.34 ක් බවයි සඳහන් වන්නේ.

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ඵල දරමින් ඇති අතර, ආර්ථික ප්‍රකෘතිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, උද්ධමනය අඩු මට්ටමක පවතින බවත්, ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින්, සංචිත අඛණ්ඩව රැස් වෙමින් පවතින බවත් IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පවසා සිටියා.

ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට ගෙන යාමේ ප්‍රගතිය කැපී පෙනෙන බවද, මෑතකදී බැඳුම්කර හුවමාරුව සාර්ථකව නිම කිරීම ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රධාන සන්ධිස්ථානයක් වන බව ද, නිල ණයහිමි කමිටුවේ ණය හිමියන් සමඟ සහ ඉතිරි ණය හිමියන් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් කාලෝචිත ලෙස අවසන් කිරීම දැන් ඇති ප්‍රමුඛතාවය බවද නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තෙල් ඇනවුම් කිරීමෙන් බෙදුම්කරුවන් ඉවත්වෙ

අද (28) මධ්‍යම රාත්‍රියෙන් පසුව තෙල් බෙදුම්කරුවන් ඛණිජ තෙල් බෙදා ඇනවුම් කිරීමෙන් ඉවත් වන බව තෙල් බෙදුම්කරුවන්නේ සංගමය පවසනවා.

ඒ අනුව පවතින ඛණිජ තෙල් බෙදා හැරීම පමණක් සිදුකරන නමුත් තෙල් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකරන බවයි අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ.

ඉන්ධන බෙදුම්කරුවන්ට මේ වනවිට හිමිවන 3% ක වට්ටම් මුදල අහෝසි කර එය හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමට එරෙහිව මෙම පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියා හා බහරේන් තානාපතිවරුන් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවී තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස වයි.කේ.ගුණසේකරගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.

එසේම බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එස්.එස්. දිසානායකගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මාර්තු මාසයට ඉන්ධන මිල සංශෝධනයක් නැහැ – ඛණිජ තෙල් සංස්ථාව

මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

ඒ අනුව මේ වනවිට වෙළඳපොලේ පවතින මිල ගණන් යටතේම මාර්තු මාසයේ ඉන්ධන අලෙවිය සිදුවන බවයි සඳහන් වෙන්නේ.

රාමසාන් උපවාස මාසය ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්

අද (28) නව සඳ නොදැකීම හේතුවෙන් රාමසාන් උපවාස මාසය ලබන ඉරිදා (02) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.

පෙබරවාරි මාසයේ උද්ධමනය තවදුරටත් අඩුවෙයි

2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, -4.2% ක් දක්වා  තව දුරටත් අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හාර කාණ්ඩයේ උද්ධමනය 2025  පෙබරවාරි මාසයේ දී -0.2%ක් දක්වා  වැඩි වී ඇති අතර 2025 ජනවාරි මාසයේ එය වාර්තාවී තිබුණේ -2.6%ක්  ලෙසයි.

එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 පෙබරවාරි මාසයේ දී -6.1% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 ජනවාරි මාසයේ දී -4.7% ක් ලෙස වාර්තාවී තිබුණා.

අදාළ වාර්තාව පහතින්.

67c18ff29260apdf_page_4