ඊළඟ ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා – මෛත්‍රී

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත හැකි බවට තමා විශ්වාස කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

බිත්තර ආනයනයට අනුමැතිය නොදෙන පාර්ශව ගැන ජනපති වාර්තාවක් කැඳවයි

බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබානොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් එළැඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, ඉදිරි උත්සව සමයේදී සාමාන්‍ය ඉල්ලුමට වඩා ඉහළ ඉල්ලුමක් බිත්තර සඳහා ඇති වන බවයි.

ඉන්දියාව ප්‍රධාන බිත්තර අපනයනකරුවෙක් බවත්, ඔවුන් වෙනත් රටවලට අපනයනය කරන දෙයක් අපේ රටට ගෙන්වීමට නොහැකි බවට තීරණය කරනවා නම් ඒ සඳහා සාධාරණ හේතු දැක්වීමක් සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව අඩු කිරීම මේ දිනවල සිදු කෙරෙනවා – බන්දුල

සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඵලදායි නොවන සේවකයින් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ද මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බවයි අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මහ භාණ්ඩාගාරයේ උපදෙස් පරිදි සෑම අමාත්‍යංශයකම වියදම් අඩුකිරීම සඳහා චක්‍රලේඛනගත ගිවිසුමකට අමාත්‍යාංශ ලේකම්වරු බැඳී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවලට නැවත දැනුම්දෙන තුරු නොයන ලෙස දැනුම්දීමක්

දිවයිනට නැගෙනහිර මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (31) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

ඒ අනුව දැනට මෙරට නැගෙනහිර මුහුදු කලාපයේ රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත කලාපයක් වෙත යාත්‍රා කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවරයන් හට දැනුම් දෙන්නේ.

අසාධාරණ බදු අය කිරීමට එරෙහිව වෘත්තීයවේදීන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටුවීමට මෙම සතිය තුළ පියවර නොගන්නේ නම් එළඹෙන සතියේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව එම වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, අද (31) සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන බවයි.

මේ අතර සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළේ, සියළුම වරාය වෘත්තීය සමිති එක්වී හෙට (01) දිනයේ මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක්

ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් යළිත් වරක් පෙන්නුම් කරන බව වාර්තා වෙනවා. ඒ අනුව වසරේ ගතවූ දින 30 ක කාලය තුළ ඩෙංගු රෝගීන් 8360 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1731 ක් ලෙසයි දැක්වෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය, වත්තල, ගොතටුව ප්‍රදේශවලින්, පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය සහ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ යන ප්‍රදේශවලින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා දිවුරුම් ප්‍රකාශයක් නීතිපති දෙපාර්තමේන්තුවට

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා දිවයින පුරා අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශය අද (30) නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙය නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට IMF මඟ පෙන්වීම හැර විකල්පයක් නෑ – රංජිත් සියඹලාපිටිය

රට තුළ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිදුකරන මඟ පෙන්වීම් අනුව ක්‍රියා කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වසර තුළ -3.5ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බවත්, 2024 වසරේ දී ධන ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බවයි. මේ වන විට අලුත් බදු ගැන සාකච්ඡා කළද එම බොහෝමක් බදු පෙර තිබූ ඒවා බවත් ඒවා යම් ප්‍රමාණයක් පෙර තිබූ තත්ත්වයට වඩා වැඩි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මහජන උපයෝගීතා කොමිසමේ ඉල්ලීමකට එකඟතාව හිමිවෙයි

ඉදිරි දින කිහිපය සඳහා ජල විදුලිය උත්පාදනය කිරීමට ප්‍රමාණවත් තරම් ජලය, ජලාශවලින් නිකුත් කිරීමට එකඟත්වය හිමිව තිබෙනවා.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ ඉල්ලීමට අනුව මෙම එකඟතාව ලැබී ඇති බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

මැතිවරණයට අදාළ ලේඛන ගැසට් කිරීමට සූදානම් – මැතිවරණ කොමිසම

මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.