75 වන ජාතික නිදහස් දිනය අදයි

133 වසරක් බ්‍රිතාන්‍ය රාජ්‍යට යටත් විජිතයක්ව පැවති ශ්‍රි ලංකාවට 1948 වසරේ පෙබරවාරි 04 වනදා නිදහස ලැබී අදට වසර 75 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් අද දිනයේ “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික නිදහස් දින සැමරුම ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

විදුලිය කප්පාදු නොකරන බවට ලංවිම දුන් ප්‍රතිඥාව ඉල්ලා අස්කරගනී

විදුලි කප්පාදුවට එරෙහිව පැවති පෙත්සම සලකා බලනතුරු විදුලි කප්පාදුව සිදුනොකරන බවට ලංකා විදුලි බලමණ්ඩලය විසින් ඊයේ (02) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප්‍රතිඥාවක් ලබාදී තිබුණා.

මානව හිමිකම් කොමිෂම විසින් ගොනු කළ අදාළ පෙත්සම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සලකා බැලූ අතර, කොමිෂමේ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර සිටියා.

ඒ අනුව ඊයේ දිනයේ දී ලබාදුන් ප්‍රතිඥාව, අද දිනයේ ඉල්ලා අස්කරගන්නා බව විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව වළක්වන ලෙස කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනවල විදුලි කප්පාදුව සිදු කිරීම වළක්වාලමින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර තිබුණා.

කෙසේ නමුත් අදාළ පෙත්සම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණු අතර එහිදී මානව හිමිකම් කොමිසමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.

 

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන අය ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව ඔවුන්‍ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය , ඒකමතිකව තීන්දු නොගැනීම වැනි කාරනා හේතුවෙන් තමා සමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

33435918bcb27bf9bb7a54e85f5f64db

b7a696911923053e413f7b093a3e19aa

නිදහස් දින සැමරුමට බාධා වන ලෙස විරෝධතා පැවැත්වීමට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

හෙට (04) දිනයේ පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් දින සැමරුමට එරෙහිව කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතා සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ දී කිසිදු ආකාරයකින් ජාතික නිදහස් සැමරුමට බාධා වන අයුරින් විරෝධතා නොපැවැත්විය යුතු බවත්, නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන ඒ අවට ප්‍රදේශයට විරෝධතාවයක් පැවැත්වීම සඳහා ඇතුළු වීමත් වළක්වාලමින් අධිකරණය විසින් මෙම නියෝගය කර තිබෙනවා.

කොටුව පොලීසිය කළ ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් දැනුම් දීමක්

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් සිදු නොකරන බවත්, ඒ වෙනුවට වී මෙට්‍රික් ටොන් 66,000ක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගැනීමට රජය තීරණය කරන ලද බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සහාය පළ කරයි

ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සහාය ලබාදීමට සුදානම් බව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් විසින් ලිපියක් මාර්ගයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත දන්වා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත නැවත ප්‍රවේශ වීමට ඉඩ සලසන ප්‍රතිව්‍යුහගත කිරීමේ නියමයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහාද ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සුදානම් බව බැඳුම්කර හිමියන් විසින් IMF වෙත දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

කරු ජයසූරිය ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට එක්වරක් පමණක් පිරිනමන ඉහළම සම්මානයක් වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානයෙන් හිටපු කතානායක කරු ජයසූරිය පිදුම් ලබා ඇති බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති මන්දිරයේ දී අදාළ සම්මානය කරු ජයසූරිය වෙත පිදූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ.

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා මෙම ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ සම්මානය කරු ජයසූරිය වෙත පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබුණා.

ජල විදුලිය නිපදවන්න ප්‍රමාණවත් ජලය ජලාශවල නැහැ – මහවැලි අධිකාරිය

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

අපේක්ෂිත පරිදි වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් ප්‍රමාණවත් ජලය නොමැති බවයි මහවැලි අධිකාරිය විසින් ලිපිය හරහා දැනුම් දී තිබෙන්නේ.

දැනට පවතින ජලය කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් ජල විදුලි නිෂ්පාදනය සඳහා මුදා හැරිය නොහැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

තැපැල් ඡන්දය පවත්වන දින ප්‍රකාශයට පත් කෙරේ

2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් දිනයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.