උද්ධමනය​ට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳව සළකා බලනවා – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එසේම මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩු වීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කිරීම පිළිබඳවද සළකා බලන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමට ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

cd5eba5423a388dcf7f72a9957f90507

දැන් විදුලිය කප්පාදුව නතර කරන්න පුළුවන් නම් ඇයි උසස් පෙළ සමයේ විදුලිය කප්පාදුව නතර නොකළේ? – විදුලි ඉංජිනේරුවන්

නව ගාස්තු සංශෝධනයට අනුව පාරිභෝගිකයන්ගෙන් මුදල් ලැබීමටත් පෙර විදුලි කප්පාදුව නතර කිරීම ගැටලු සහගත බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය පැවති සමයේද විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථාව පැවති බවයි එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ.

උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට ඒ අනුව බරපතල අසාධාරණයක් සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විශ්වවිද්‍යාල සිසුන් ඇති කර ගන්නා ගැටුම් අමානුෂික ක්‍රියාකාරකම් දක්වා වර්ධනය වෙලා – මහාචාර්ය සම්පත් අමරතුංග

මෙරට විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යයන පද්ධතිය තුළ ඇති කර ගන්නා ගැටුම් අමානුෂික ක්‍රියාකාරකම් දක්වා වර්ධනය වී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පවසනවා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ දේපළවලට දැඩි හානි සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

එහිදී සිසුන් පිරිසක් විසින් තවත් පිරිසක් ඉහළ මහලට පැමිණීම වැළැක්වීම සඳහා ඉහළ සිට පඩිපෙලට උණුවතුර දැමීමටද කටයුතු කර ඇති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් සියළුම පීඨවල ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමටද ඊයේ කටයුතු කර තිබුණා.

මාර්තු 01 සමස්ත මහා වැඩවර්ජනයක්

මාර්තු මස පළමුවනදා වෘත්තීය සමිති ඒකාබද්ධව සමස්ත මහා වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති එක්ව ඊයේ (16) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඉදිරි දින කිහිපය තුළ සිය ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් මෙය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල සඳහන් කළේ.

ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජලසම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ සඳහා එක්වීමට නියමිතයි.

මිනුවන්ගොඩදී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (16) රාත්‍රියේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇත. ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

සාකච්ඡාවක් ඉල්ලා වෘත්තීයවේදීන්ගෙන් ජනපතිට තවත් ලිපියක්

නව ආදායම් බදු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයාට තවත් ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව ගැටලුව විසඳීම සඳහා බලධාරීන්ට සතියක කාලයක් ලබාදෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

මීට පෙරද වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබුණා.

ICC Women’s T20 World Cup : ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.

නායිකා චමරි අතපත්තු ලකුණු 16 කට දැවී ගිය අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 34 ක් හා විශ්මි ගුණරත්න ලකුණු 24 ක් ලබා ගත්තා. නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 15 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 15.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 113 ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තබයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මෙලෙස ඔහුගේ කාර්යාලය මුද්‍රා තබා ඇති බවයි සඳහන් වන්නේ.

ජනක රත්නායක මේ වනවිට විදේශගතව සිටින බවයි සඳහන් වන්නේ.

කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

 

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගොනුකර තිබු විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 6 වන දින තෙක් යළි දීර්ඝ කර තිබෙනවා.

රජිත් කීර්ති තෙන්නකෝන් විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද දිනයේ දී යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය අප්‍රේල් මස 6 වන දිනයේ දී නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇති බවයි සඳහන්

 

 

ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් ඉහළට

සෑම සේවාවකම මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා පවසනවා.

ඒ අනුව ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට කටයුතු කරන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.