CEYPETCO ඉන්ධවලින් ලාභ ලබන ආකාරය ගැන වාර්තාවක් නිකුත් වෙයි

ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් 92 ලීටරයකින් රු.16.21ක ලාභයක් ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 3.25ක ලාභයක් ද උපයා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

එමෙන්ම පෙට්‍රල් 95 ලීටරයකින් උපයා ඇති ලාභය රු.109.44ක් වන අතර සුපර් ඩීසල් ලීටරයකින් උපයා ඇති ලාභය රු.11.64ක් වනවා.

කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයකින් තවමත් රු. 21.49ක පාඩුවකින් සංස්ථාවට අත්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධව වන වාර්තාව පහතින්,

01

පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිෂමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂම පවසනවා. මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලීසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු ද අදාළ මෝසම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මිලියන 1.45ක පිරිසකට රු.60 ට පැවති මාසික විදුලි ගාස්තුව දැන් රු.753 ක් දක්වා වැඩි වෙලා – රොහාන් සෙනෙවිරත්න

මාසිකව විදුලි ඒකක 0 සිට 30 දක්වා භාවිත කරන මිලියන 1.45ක් පාරිභෝගික ජනතාවට පසුගිය අගෝස්තු මාසයට පෙර මාසික සාමාන්‍ය විදුලි ගාස්තුව පැවතියේ රුපියල් 60කට බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසනවා.

පසුගිය වසරේ අගෝස්තු මිල සංශෝධනයෙන් අනතුරුව ඔවුන්ගේ මාසික සාමාන්‍ය විදුලි ගාස්තුව රු.214ක් දක්වා වැඩි වූ බවද, මෙවර ගාස්තු සංශෝධනය හරහා එය රු.753ක් දක්වා වැඩි වූ බවද සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දෙනවා.

චීනයේ සහතිකය නොමැතිව ශ්‍රී ලංකාවට ණය පහසුකම දීමට IMF හී අවධානය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා චීනයේ සහාය ලබාදෙන බවට වන සහතිකය නොමැතිව වූවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ණය පහසුකම ලබාදීමට අවධානය යොමුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මූල්‍ය අරමුදල විසින් කලාතුරකින් භාවිත කරනු ලබන ප්‍රතිපත්තියක් යටතේ මෙම ණය පහසුකම මෙලෙස අනුමත කිරීමට සැරසෙන බව එම වාර්තාවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් චීනයේ මූල්‍ය සහතිකය ලබාගැනීම සඳහා දිගටම කටයුතු කරගෙන යනු ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ වාර්තා කිරීම පහතින්:
https://www.reuters.com/markets/asia/imf-mulls-loan-approval-sri-lanka-even-without-chinas-assurance-bloomberg-news-2023-02-17/

28 වනදායින් පසුව සා.පෙළ විභාග අයදුම් පත්‍ර කැඳවීම අවසන්

පෙබරවාරි 28 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මේ වන විට Online ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් පත්‍ර භාර ගැනීම සිදුවෙමින් පවතින බවයි ජනරාල්වරයා පවසන්නේ. 28 වනදායින් පසුව කිසිදු හේතුවක් මත විභාග අයදුම් පත්‍ර කැඳවීමේ කාලසීමාව දීර්ඝ නොකරන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.

22 වනදා සිට කළු විරෝධතා සතියක්

රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ලබන 22 වනදා සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, විශ්විද්‍යාල ආචාර්ය සංගම්වල මෙන්ම බැංකු වෘත්තිය සමිති ඇතුළු ක්ෂේත්‍ර රැසක් මේ සඳහා සහයෝගය පළකර ඇති බවයි සඳහන් වන්නේ.

වෘත්තීය සමිති වෙන් වෙන්ව සිදුකළ විරෝධතා මේ වන විට එක් ස්ථානයකට එක්වී ඇති බවයි වෘත්තීය සමිති නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කළේ.

වැල්ලමඩම මුහුදු තීර​යේ දියනෑමට ගිය සිසුන් තිදෙනෙකු අතුරුදහන් වෙයි

මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ආනයනික බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිතා කිරීමේ තීරණයක්

බිත්තර හිඟය සහ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව එම බිත්තර, බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

එම ආනයනික බිත්තර සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තැපැල් ඡන්ද පත්‍රිකා දින දෙකකින් මුද්‍රණය කළ හැකියි – මුද්‍රණ සේවක සංගම්

රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ හැකියාව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 6 ක් යනු ඉතා සුළු ප්‍රමාණයක් බව මුද්‍රණ සේවක සංගම් පවසනවා.

උපරිම දිනයකින් හෝ දින දෙකකින් එය මුද්‍රණය කළ හැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට වැඩි කාලයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මැතිවරණයට බාධා කිරීම සඳහා රජයේ මුද්‍රණාලාධිපතිනිය කටයුතු කරන්නේ දැයි යන බරපතල සැකයක් මතුවන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 6 ක මිල අඩුකරයි

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අර්තාපල්, ලොකු ළූණු, ආනයනික සම්බා, රතු පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩුකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

1ae8987b07899e6dc6209780dec812af