ලන්ඩන් සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවා අද ක්‍රියාත්මක නොවන බව දැනුම්දෙයි

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අද පැය 12:50ට පිටත් වීමට නියමිතව තිබූ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ පැය 20:40 ට පිටත් වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ.

එමෙන්ම හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් අප්‍රේල් 04 දක්වා තවදුරටත් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 10 දෙනා ලබන 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන්ට එරෙහි නඩුව අද (21) Skype ඔස්සේ කැඳවූ අවස්ථාවේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, අදාළ සිද්ධියේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින මීගමුව පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා සහ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි යන කාන්තාව අතර සම්බන්ධතා පැවැති බවට කරුණු අනාවරණය වී ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 55 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර, රාජ්‍ය ආයතනවලින් තවත් සාක්ෂි 25ක් පමණ එක් රැස් කරගෙන තිබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

විදුලි උප පොළක බිඳ වැටීමක් නිසා Heathrow ගුවන්තොටුපොළ වසා දැමේ

එංගලන්තයේ විශාලම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන Heathrow ගුවන්තොටුපොළ අද (21) දවස පුරා වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

ගුවන් තොටුපළ ආසන්න විදුලි උප පොළක ගින්නක් නිසා ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසා ගුවන් තොටුපළට ලඟාවන සහ එයින් පිටවන ගුවන් යානා ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

බටහිර ලන්ඩනයේ හේස් හි උපපොළේ ඇති වූ මෙම බිඳවැටීම හේතුවෙන් නිවාස රැසකට ද විදුලිය විසන්ධි වී ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනපති සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ අණදෙන නිලධාරී අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ (INDOPACOM) අණදෙන නිලධාරි අද්මිරාල් Samuel Paparo අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) පැවැත්වී තිබෙනවා.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ අගයමින් අද්මිරාල්වරයා සිය සුබපැතුම් පිරි නැමූ අතර, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින්, සාමකාමී ඉන්දියානු සාගර කලාපයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව ලබා දෙන සහායද ඔහු පැසසුමට ලක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින ශක්තිමත් සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමටත්, ශ්‍රී ලංකා රජයේ නව වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමටත් සිය සහාය ලබා දෙන බවයි අද්මිරාල් Samuel Paparo සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අයදුම්පත් කැඳවයි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව අයදුම්කරුවන් විසින් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඇති (www.parliament.lk) ක්‍ෂණික සබැඳි යටතේ ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ නමින් පළ කර ඇති තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව අයදුම්පත්‍ර සකස් කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

එසේ සම්පුර්ණ කරන අයදුම්පත්‍ර 2025 අප්‍රේල් 01 දින හෝ ඊට පෙර ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ’ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.

නැතිනම් constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට අයදුම්පත්‍ර යොමු කළ යුතු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ හෝ විද්‍යුත් පණිවිඩයේ විෂයය වශයෙන් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයෙකු පත් කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරට පත් ගුවන් යානය පිළිබඳව විමර්ෂණයට කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක මූලික කඳවුරේ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බල ඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණුවීමි සදහා යොදාගනු ලබන K8 වර්ගයේ ගුවන් යානයක් අද (21) උදෑසන අනතුරට පත් වුණා.

කුරුණෑගල, වාරියපොල, පාදෙණිය ප්‍රදේශයේදී එම ගුවන් යානය හදිසි අනතුරට ලක්ව ඇති අතර, එම ගුවන් යානයේ ගුවන් නියමු නිළධාරින් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත් වී පාදෙණිය, මිනුවන්ගැටේ විද්‍යාල පරිශ්‍රයට පැරිෂුට් ආධාරයෙන් ගොඩ බැස තිබුණා.

මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිළධාරිවරයා ගමන් කර ඇති බවද, එම නිළධාරින් මේ වන විට කුරුණෑගල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද ගුවන් හමුදා මූලස්ථානය නිවේදනය කර සිටිනවා.

ගුවන් අනතුර පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් පත්කර තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

පළාත් පාලන මැතිවරණය මැයි 06 පැවැත්වෙයි

පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම මේ බව සඳහන් කරනවා.

news images

පාසල් සිසුන්ට පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝ කරයි

2025 වර්ෂයට අදාළව පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන අප්‍රේල් 10 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

ශානිගේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් මස 16 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

මෙම පෙත්සම ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම ඔක්තෝම්බර් මස 16 වැනිදා කැඳවන ලෙසයි නියෝග කර තිබෙන්නේ.

වියට්නාම දූත පිරිසක් පාර්ලිමේන්තුවට

වියට්නාම් ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක යෙන් ඩක් හායිගේ ප්‍රධානත්වයෙන් යුත් වියට්නාම නියෝජිත පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නගේ ආරාධනයකට අනුව ඔවුන් සිව්දින නිල සංචාරයක් සඳහා මෙහි පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

ඔවුන් කථානායක ජගත් වික්‍රමරත්න, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව තිබෙනවා.