මෛත්‍රි CID යෙන් පිටව යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන් පිටව ගොස් තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (07) පස්වරු 1.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණා.

ඔහු ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ දේශපාලඥයන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවා තිබූ බවයි සඳහන් වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ (EFF) සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී පැවැත්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී ශ්‍රී ලංකාව දැනට ලබා ඇති ප්‍රගතිය සහ ඉදිරි මූල්‍ය අරමුණු ළඟා කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා වී ඇති බවත්, එමෙන්ම ඇමෙරිකාවේ නව තීරුබදු පැනවීම හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන ආර්ථික අභියෝග සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේම අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක්

අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබෙනවා.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 712.90කින් පහළ ගොස්, ඒකක 14,660.45ක් ලෙසින් සටහන් වූ අතර, S&P SL20 මිල දර්ශකය ඒකක 268.51කින් පහළ ගොස් ඒකක 4,264.84ක් ලෙසින් සටහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අද පෙරවරුවේ S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමට‍ ද සිදුව තිබුණා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමනාගමන කොමිෂන් සභාව හා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර ඇති බව එම කොමිසම පවසනවා.

ඒ අනුව ලබන 09 වැනිදා සිට 21 වැනිදා දක්වා මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැළැස්ම සකස් කර ඇති බවත්, මහනුවර, පුත්තලම, හයිලෙවල් / ලෝලෙවල්, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 05 කේන්ද්‍ර කර ගනිමින් ගමනාගමන මණ්ඩලය සහ ගමනාගමන කොමිෂන් සභාව මගින් දුරගමන් බස් රථ සේවා ක්‍රියාත්මක කරන බවත් සඳහන්.

එසේම ස්ථීර කාල සටහන්වල ධාවනය වන බස් රථවලට අමතරව, අතිරේක ගමන් වාර 500ක් ධාවනය කිරීමටද සැළසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මාකුඹුර, කඩවත, කඩුවෙල හා බැස්ටියන් මාවත කේන්ද්‍රකර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම යන ප්‍රදේශ සඳහා මගී සේවා සැපයීමට අතිරේක බස් රථ 350ක් යෙදවීමට කටයුතු සැළසුම් කර ඇති බවද එම කොමිසම සඳහන් කළා.

මේ අතර  දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය ගමන් වාරවලට අතිරේකව, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්තවලට විශේෂ දුම්රිය සේවා යොදවා ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

news images

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

පසුගිය 04 වනදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතින බවත් මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිව ධුරයෙන් ඉවත් කිරීමට පොලිස් කොමිසමට නිර්දේශ

වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ යොමුකර තිබෙනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වෙත අද (06) යොමුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මීට අමතරව මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැරහරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය සත්සර නිමේශ්ට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටි සත්සර නිමේශ් නැමති තරුණයා මියයාමට එරෙහි විරෝධතාවක් මේ වන විට රාජගිරිය ගුවන් පාලම අසළදී පැවැත්වෙනවා.

දිගින් දිගටම සිදුවන පොලිස් ප්‍රචණ්ඩත්වයට හා ඝාතන හෙළා දකිමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

විරෝධතාකරුවන් සඳහන් කරන්නේ පොලිස් අත්අඩංගුවේ සිටි මියගිය සත්සර නිමේශ් තරුණයාට යුක්තිය ඉටු කරන ලෙසයි.

news images

news images

රාජ්‍ය සංචාරය නිම කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටත්ව යයි

දෙදින නිල රාජ්‍ය සංචාරය නිම කරමින් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය 4 වනදා රාත්‍රීයේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර දෙරටට වැදගත් වන ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීම සිදු වුණා.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දෙමළ පක්ෂ නායකයින් සමඟද ඉන්දීය අගමැතිවරයා සාකච්ඡා පැවැත්වීම සිදු කර තිබුණා.

අනතුරුව අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණි ඉන්දීය අගමැතිවරයා ශ්‍රී මහා බෝධිය වැඳපුදාගැනීමෙන් අනතුරුව අනුරාධපුර දුම්රිය ස්ථානයේ දුම්රිය සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවටද එක්වී තිබෙනවා.

ජනපති සහ ඉන්දියානු අගමැති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගනී

මෙරට තෙදින රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ එක්ව  අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන තිබෙනවා.

උඩමළුව වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරතවී තිබෙනවා.

තමන් උපන් ගුජරාට් ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැනීම්වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සොයා ගත් බවත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

බුද්ධගයාව අධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති හිමියන් විසින් කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක  සමඟ සාකච්ඡා කර එහි ඉදිරි පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

news imagesnews images

news images

මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය ඉන්දීය අගමැති අතින් විවෘත කෙරේ

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේදී මහව – අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය විවෘත කර තිබෙනවා.

ඒ අනුව එහි සමරු ඵලකය ඉන්දීය අග්‍රමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතින් විවෘත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම නවීකරණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගයද නිල වශයෙන් ඉන්දීය අගමැතිවරයා අතින් මෙහිදී විවෘත කර තිබෙනවා.