දේශබන්දුට එරෙහි සිතාසියක් බලරහිත කිරීමට නියෝගයක්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත මෙම සිතාසිය නිකුත් කර තිබුණා.

මේ අතර පසුගිය වසරේ මැයි මස 9 වන දා ගාලු මෝදර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් නිකුත් කර ලිපියක් ද අභියාචනාධිකරණය විසින් බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

අද සිට ඖෂධ මිල පහළට

ඖෂධ කාණ්ඩ 60ක මිල 16% කින් අඩු කරමින් පසුගිය 15 වනදා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනය අද (26) සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව යම් ඖෂධ නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු හෝ බලයලත් ඕනෑම පාර්ශවකරුවෙකු ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ ඖෂධ අලෙවි කිරීම සිදුකළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ජනපති යළි දිවයිනට පැමිණෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යුරෝපා සංචාරය නිමා කරමින් අද (26) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 09.10 ට පමණ ජනාධිපතිවරයා දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

දීර්ඝ බැංකු නිවාඩුව තුළ බැංකු කටයුතු සිදුකිරීමට බාධාවක් නැහැ – මහ බැංකු අධිපති

දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කළද ජනතාවට අත්‍යවශ්‍ය බැංකු කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව සාමාන්‍ය නිවාඩු දිනවල සිදුකරන බැංකු ගනුදෙනු, ATM, Online බැංකු ගනුදෙනු සහ අන්තර්ජාලය හරහා කරන බැංකු ගනුදෙනුවලට කිසිම බාධාවක් නොමැති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

සමහර බැංකු, නිවාඩු දිනවලත් ක්‍රියාත්මක වන බවත් එම කිසිම බැංකු ගනුදෙනුවකට මේ තුළ කිසිම බාධාවක් නොමැති බවත් දීර්ඝ බැංකු නිවාඩු දිනයන්වල පවා ජනතාවට අවශ්‍ය කරන බැංකු කටයුතු කරගැනීමට සියලු පහසුකම් සලසන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ICC CWC Qualifier: අද පැවැත්වෙන තරග

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (26) A කාණ්ඩය නියෝජනය කරන තරග දෙකක් පැවැත්වෙනවා.

ඒ අනුව පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එසේම නෙදර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයද අද දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිතයි.

ICC CWC Qualifier: සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබාගත් කණඩායම් මේ වන විට තහවුරුවී තිබෙනවා.

ඒ අනුව A කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමත් වූ අතර B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය හා ඕමානයද සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තා.

සුපිරි 6 වටයේ තරග ජූනි 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ගිනිඅවි ගැන ඔත්තු ලබාදෙන පිරිස් වෙත ලබාදෙන ත්‍යාග මුදල් වැඩි කෙරේ

නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ සම්බන්ධව පොලිසියට තොරතුරු ලබාදෙන පිරිස් වෙත සහ එම වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට මෙතෙක් ලබාදුන් මුදල් ත්‍යාග වැඩි කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ උපදෙස් පරිදි අදාළ තීරණය ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි මූලික පියවර වශයෙන් අද (25) දිනයේ සිට ලබන මස 31 වන දින දක්වා කාලය තුළ සිදුකරන වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ වෙනුවෙන් ලබාදෙන ත්‍යාග මුදල් වැඩිකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ත්‍යාග මුදල් පහතින්.

6497d84617bca

විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ සැසියක්

විදුලි ගාස්තු සං‍‍ශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන අදහස් ලබාගැනීමේ සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ලබන අඟහරුවාදා දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම මහජන උපදේශන සැසිය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබාදීමට හැකියාව පවතින බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ නගරයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට ඊයේ (24) රාත්‍රීයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 56 හැවරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වැග්නර් හමුදා පසුබසී

ලේ වැගිරීම වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම ආපසු හැරී යන බව වැග්නර් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමේ භට පිරිස් කැරැල්ලකට උත්සාහ කර පැය 24කටත් අඩු කාලයකට පසු රොස්තොව්-ඔන්-ඩොන් නගරයෙන් පිටව යාමට පටන් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ කුලී හමුදා කණ්ඩායම වන වැග්නර් සන්නද්ධ කණ්ඩායම ඊයේ (24) සටනක් ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා.

වැග්නර් බලකාය විසින් රුසියානු පාලනය යටතේ පැවති නැගෙනහිර යුක්රේනයට මායිම්ව පිහිටි රොස්තොව් නගරය පළමුව අත්පත් කර ගැනීමට කටයුතු කර තිබුණා.