මේ වසරේ ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 31 ක් මරුට

මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ වසරේ ගතවු කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 49,759 දෙනෙකු හඳුනාගෙන ඇති බවද සඳහන්.

මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

අධි ඇසළ පොහොය අදයි

අධි ඇසළ පොහොය අදට (03) යෙදී තිබෙනවා.

සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහක් වන අතර ‘අධි පසළොස්වක’ යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොය යි.

ඒ අනුව ඓතිහාසික ශාසනික කිසි සිදුවීමකට මෙම අධි පසළොස්වක පොහොය සම්බන්ධ නොවන බවයි සඳහන් වන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පසුබිම සකස් කිරීම සඳහා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කරන්න වෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට පසුබිම සකස් කිරීම සඳහා ඊට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම විශ්‍රාමික අරමුදල්වලට ඉදිරියේ දී ආරාධනයක් සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්පසු ඊට අදාළව ඔවුන්ගේ තීරණය ගැනීමට අවස්ථාව ලබා දෙන බවද, එම තීරණය දැනුම්දුන් පසු මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන හෙට හෝ අනිද්දා ජනතාව සඳහා එළිදක්වනවා – මුදල් අමාත්‍යංශ ලේකම්

හෙට (03) හෝ අනිද්දා (04) යන දිනයන් තුළ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ජනතාව සඳහා එළිදැක්වීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

සේවක අර්ථසාදක අරමුදල ඇතුළු පාර්ශ්ව කීපයක් වෙත ද ඉදිරියේදී එම වැඩසටහන ඉදිරිපත් කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.

ශ්‍රී ලංකාව 2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සමත් වුණා.

ඒ අනුව 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ 9 වැනි රට ලෙසයි ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ.

අද සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගැනීමත් සමඟ සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමටද ශ්‍රී ලංකාව සමත් වුණා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

64a17fd77ab70

ICC CWC Qualifier: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය අද (02) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ළහිරු කුමාර වෙනුවට මතීෂ පතිරණ කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මුතුරාජා විශේෂ ගුවන් යානයකින් යළි තායිලන්තයට

තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු “මුතුරාජා” හස්තියා අද (02) උදෑසන තායිලන්තය බලා රැගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව විශේෂ රුසියානු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එම හස්තියා යළි තායිලන්තය බලා රැගෙන ගිය බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත සඳහන් කළේ.

එම ගමන සඳහා තායිලන්තයේ සිට මෙරටට පැමිණි පශු වෛද්‍යවරුන් තිදෙනෙකු, ඇත් ගොව්වෙකු සහ සහයකයින් දෙදෙනෙකු සහභාගී වී තිබෙනවා.

2001 වසරේදී එම හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබා දීමට තායිලන්ත රජය පියවර ගෙන තිබූ අතර හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කර තිබුණා.

ICC CWC Qualifier: ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය අද

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (02) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.

මේ අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ලහිරු කුමාර වෙනුවට සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා සංචිතය සදහා ආදේශ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සංශෝධන සහිතව සම්මත වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් අනතුරුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62 ක් හිමිවී තිබුණා.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමටද කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර විසින් අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට කිලෝමීටර 1260 ක් ගිණිකොන දිග මුහුදේ, අද (01) භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

ඒ අනුව රිප්‍ටර් මාපක 5.8ක අගයකින් එම භූකම්පනය වාර්තාවී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම භූකම්පනය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවත් මෙමගින් ලංකාවට බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ.