චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා 84% ක බද්දක් පනවයි

චීනය හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා 104% ක තීරු බද්දක් පැනවීමෙන් පසු, මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මර්වින් සිල්වා ඇතුළු 04ක් රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ එම නඩුවට සම්බන්ධ‍ තවත් තිදෙනෙකු අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

එසේම, මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ නම් ‍කෙරේ

කෝසල නුවන් ජයවීර මන්ත්‍රීවරයාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මැතිවරණ කොමිසම විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ නම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියේ.

අදාළ නිවේදනය පහතින්.

news images

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය පැය 24 තුළ පැමිණිලි 64 ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (08) දිනයේ පමණක් පැමිණිලි 64 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 944 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඉන් පැමිණිලි 891 ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 06 ක් ලැබී ඇති බවද සඳහන්.

ලැබී ඇති පැමිණිලි 944 න් 816 ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 128 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

‍අදාළ නිවේදනය පහතින්.

news images

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාගේ මෘත ශරීරය ගොඩගැනීම​ට නියෝග

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ සත්සර නිමේෂ් තරුණයාගේ මෘත ශරීරය ගොඩගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නි‍යෝග කර තිබෙනවා.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අධිකරණයට නියෝග කර තිබෙන්නේ.

අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හිටපු අමාත්‍ය වියාලේන්ද්‍රන්ට ඇප

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා.

වැලි කැණීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැක පිට ඔහුව අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් ඔහු ඇප මත මුදා හරිනු ලැබූ නමුත්, එහිදී සැකකරුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණා.

මෙරට තීරුබදු අඩු කළ හැකි කරුණු ගැන දක්වා අමෙරිකානු ජනපතිට ලිපියක් යොමු කළා – ජනපති

එක්සත් ජනපදය විසින් පනවන ලද බදු යම් ප්‍රමාණයකින් බලපෑමක් සිදුවීමේ අනතුරක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව මෙරට තීරුබදු අඩු කළ හැකි ආකාරය දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ‍‍ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කළ බවයි අද (08) ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

අදාළ ලිපිය ධවල මන්දියට ගොස් ඇති බවත් නියෝජිත කණ්ඩායමක් යොමු කරමින් සාකච්ඡා කිරීමටද කටයුතු සිදු කරමින් ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

‍පවතින තත්ත්වයේ බලපෑම අවම කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමත් එන ඕනෑම තත්ත්වයක මුහුණදීමට ජාතිය සූදානම් කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පිල්ලෙයාන් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

දේශබන්දු පොලිස්පති තනතුරෙන් ඉවත්කිරීමට කමිටුවක් පත්කිරී​මේ යෝජනා​ව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විරුද්ධව කිසිවෙකුත් ඡන්දය භාවිතා කර තිබුණේ නැහැ.

රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ IMF නව මෙහෙයුම් ප්‍රධානී අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු පිළිබඳ සමාලෝචනයක නිරත වූ නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍යතුමිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය සහ රටේ අනාගත ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම, ඉදිරියේදී මතුවිය හැකි ආර්ථික අභියෝග ද, ඒ සඳහා අවශ්‍ය කඩිනම් විසදුම් සහ ශ්‍රී ලංකාව සඳහා ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු සංවර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශවය අතර කරුණු හුවමාරු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.