ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමට රජය සූදානම් වෙයි

ඉදිරියේදී රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන ඇති බවත් ශ්‍රී ලංකාව එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය 2023 වසරේ අවසන් කාර්තුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Channel 4 චෝදනා ගැන සෙවීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

පාස්කු ප්‍රහාරය ගැන Channel 4 වාර්තා වැඩසටහනෙන් හෙළිදරව් කළ කරුණු සහ චෝදනා සම්බන්ධයෙන් සොයා ලැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ. සී. එම්. ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ. සෝසා පත්කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Fitch Ratings ශ්‍රේණිගතකිරීම් වලින් ශ්‍රී ලංකාව පහත හෙළයි

Fitch Ratings ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය මෙරට දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය C මට්ටමේ සිට RD හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටම දක්වා පහත හෙළා තිබෙනවා.

දේශීය බැඳුම්කර හුවමාරුවට අදාළ බැඳුම්කර වර්ගීකරණය D මට්ටමට පහත හෙළා ඇති අතර, එලෙස හුවමාරුවට ලක්නොවූ බැඳුම්කර C මට්ටමේ වර්ගීකරණය කර ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පාස්කු ප්‍රහාරයට අදාළ මෝසම් සලකාබැලීමට දින නියම කෙරේ

පාස්කු ප්‍රහාරයට අදාළව, මේ වනවිට තීන්දු ලබාදී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ගොනුකර තිබෙන මෝසම් පත්‍ර සලකාබැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) දින නියම කර තිබෙනවා.

අදාළ මෝසම් අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් විසින් මෙම මෝසම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කබ්රාල් අද ආර්ථිකය බංකො​ලොත්වීම පිළිබඳ හේතු සොයන විශේෂ කාරක සභාව හමුවට

ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද (15) කැඳවා තිබෙනවා.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධනද අද දිනයේ කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ.

ආර්ථිකය බංකොලොත්වීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සාක්ෂි ලබාගැනීමට සැලසුම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නව දුෂණ විරෝධී පනත අද සිට බලාත්මකයි

නව දුෂණ විරෝධී පනත සහ අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධි විධාන අද (15) සිට බලාත්මක වනවා.

ඒ අනුව ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගිය 09 වනදා නිකුත් කර තිබුණා.

දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

පනත් කෙටුම්පත් දෙකකට කතානායක අත්සන් තබයි

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පතට සහ බැංකු විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පසුගිය ජුලි 20 වනදා සම්මත වූ අතර බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව ජුලි 21 වනදා සම්මත වුණා.

ඒ අනුව 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහබැංකු පනත සහ 2023 අංක 17 දරණ බැංකු විශේෂ විධිවිධාන පනත ලෙස බලාත්මක බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මහීෂ් තීක්ෂණගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

මහීෂ් තීක්ෂණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිම අතරතුර දී පන්දු රකිමින් සිටියදී තීක්ෂණ දකුණු පාදයේ ආබාධයකට ලක්වූ අතර ආබාධය ද පසෙකලා ඔහු සිය අවසන් පන්දුවාර කිහිපය යොමු කිරීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ, ඔහුගේ ආබාධ තත්ත්වය හදුනා ගැනීම සදහා ඔහුව අද දිනයේ දී වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීමට නියමිත බවයි.

ඒ අනුව එම වෛද්‍ය වාර්තාවල ප්‍රතිඵල අනුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Asia cup 2023: කාසියේ වාසිය පාකිස්තානයට

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇති අතර කුසල් ජනිත් පෙරේරා සහ ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට කැඳවා තිබෙනවා.