https://youtube.com/watch?v=w_eKEvjm0NY%3Fsi%3DyBhhmJH4QXPbtNCn
Author: Supun
Online ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම ඇතුළු කාරණා කිහිපයක් මෙහි ඇතුළත් බවයි සඳහන් වන්නේ.
මෙම ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පංච පුද්ගල කොමිෂන් සභාවක් යෝජිතව ඇති අතර එහි සාමාජිකයෙකුගේ ධුර කාලය වසර තුනක් බවද සඳහන්.
මෙම කොමිෂන් සභාවේ බලතල අතරට යම් තහනම් ප්‍රකාශයක් මගින් අහිතකර බලපෑමකට ලක්ව ඇති පුද්ගලයින්ට ඊට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස නියම කිරීම, තහනම් ප්‍රකාශයක් වෙත පරීශිලකයින්ට ප්‍රවේශ වීමේ අවස්ථාව අක්‍රීය කරන ලෙස හෝ එම ප්‍රකාශය ඉවත් කරන ලෙස අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නට හෝ අතරමැදියන්ට දැන්වීම් නිකුත් කිරීම, අධිකරණයට අපහාස විය හැකි හෝ අධිකරණයේ බලය අපපක්ෂපාතී ලෙස පවත්වාගෙන යාමට අගතිගාමී විය හැකි සන්නිවේදනයන් පිලිබඳ සලකා බැලීම සඳහා උචිත අධිකරණයක් වෙත යොමු කිරීම ඇතුළු බලතල රැසක් ඇතුළත්.
අන්තර්ජාලය හරහා සිදුකරන ක්‍රියාකාරකම් රැසක් වැරදි වශයෙන් මෙම පනත් කෙටුම්පතින් අර්ථ නිරූපනය කර ඇති අතර සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, අසත්‍ය ප්‍රකාශ මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම, අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික් රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, ළමා අපයෝජන ඇතුළු වැරදි රැසක් මෙහි අර්ථ නිරූපනය කර තිබෙනවා.
මෙම පනත යටතේ වරදක් සිදු කර ඇති තැනැත්තෙකුට බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඩුවම් දෙකටම යටත් කරනු ලැබිය හැකි බවද වැඩිදුරටත් සඳහන්.
උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් යෝජනාවක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.
ඒ අනුව විපක්ෂයෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කර තිබෙනවා.
මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න සඳහන් කළේ, නොවැම්බර් මාසයේ උසස් පෙළ විභාගය නොපවත්වා පාසල් තෙවන වාරය 2024 ජනවාරි 19 වනදා දක්වා පැවැත්වුවහොත් එම පාසල් වාරය අවසන් කළ හැකි බවයි.
ඉන් පසුව උසස් පෙළ විභාගය ජනවාරි 22 ආරම්භ කර පෙරවාරි 17 දක්වා පවත්වා අවසන් කළ හැකි බවත් පෙරවාරි 19 වැනිදා 2024 පළමු පාසල් වාරය ආරම්භ කළ හැකි බවයි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.
එයට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම යෝජනාව විභාග කොමසාරිස්වරයා වෙත යොමු කරන බවත් ඒ සම්බන්ධයෙන් තීරණය විභාග කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි.
ආර්ථිකය ඍණවීමට බලපා ඇති කරුණු පිළිබඳව රජය වැඩි අවධානයක් යොමුකර තිබෙනවා – රංජිත් සියඹලාපිටිය
ආර්ථිකය ඍණවීමට බලපා ඇති කරුණු පිළිබඳව රජය වැඩි අවධානයක් යොමුකර ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව වැඩිම අඩුවීම සිදුවී ඇත්තේ ඉදිකිරීම් කර්මාන්තයේ බවත් මේ හේතුවෙන් රජය කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිකිරීම් ද්‍රව්‍ය හැකි තරම් සුලභ කර මිල අඩු කිරීමට අවධානය යොමුකරන බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.
බැංකු කටයුතු සංකෝචනයවීමට බලපෑ ප්‍රධාන කාරණයක් වන්නේ පොලී අනුපාත වන අතර මහ බැංකුව මැදිහත්වී පොලී අනුපාත අඩුකිරීමට කටයුතු කරන බවත් මෙහි ධනාත්මක තත්ත්වයක් ඉදිරියේදී දැකගැනීමට හැකිවනු ඇති බවද වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වසරේ පළමු කාර්තුවට වඩා දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ හැකිළීම අඩු මට්ටමක පවතින බව සඳහන් කළ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ, තුන්වෙනි කාර්තුව සහ හතරවෙනි කාර්තුව ඊට වඩා හොඳ තැනකට යන්න රජය බලාපොරොත්තු වන බවයි
ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබය අධිකරණයට යෑමට සූදානම් වෙයි
සංශෝධනය කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා.
මෙම පනත කුමන ආකාරයෙන් සංශෝධනය කළ ද එයට විරෝධය පළකරන බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළේ.
ප්‍රති ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී පාර්ශව කිහිපයක්ම අධිකරණයට ගොස් ප්‍රති ත්‍රස්ත පනත සුදුසු නැති බවට ප්‍රකාශ කළ බවත් ලෝක සංවිධාන රාශියක්ම මෙයට විරෝධතාව ප්‍රකාශ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ආයතන කිහිපයක් මේ සතියේ කෝප් කමිටුව හමුවට
මේ සතිය තුළ ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (19) දිනයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
හෙට (20) සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර අනිද්දා දිනයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව මෙම සතිය සඳහා අද (19) දිනයේ සිට ලබන 22 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 21වන බ්‍රහස්පතින්දා සහ ලබන 22වන සිකුරාදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
ඊට අමතරව අද (19) දිනයේ දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2334/47 දරණ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා සහ දකුණු කොරියානු ජනපතිවරුන් අතර හමුවක්
ශ්‍රි ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදු කරන කැපවීම ද පැසසුමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එසේම ශ්‍රී ලංකාවට අදාළව මේ වනවිට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ඉදිරියේ දී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ආර්ථිකය 3.1% කින් තවදුරටත් හැකිළෙයි – ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව
පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 3.1%කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
2022 දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,680,074 ක් වූ අතර, මෙම වසරේ දෙවැනි කාර්තුවේදී එය රුපියල් මිලියන 2,597,441 ක් දක්වා අඩුවී ඇති බවයි ඔවුන් නිවේදනය කරන්නේ.
මෙම කාර්තුව තුළ කෘෂිකර්ම කටයුතු 3.6% කින් ප්‍රසාරණය වී ඇති අතර කාර්මික කටයුතු 11.5% කින් හා සේවා කටයුතු 0.8% කින් හැකිළී ඇති බවද, ඉහළ පොලී අනුපාත හේතුවෙන් කෙටි කාලීන සහ දිගුකාලීන ආයෝජන මත ඇති වූ පීඩන ඊට බලපා ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.
සාමාන්‍ය ජනතාවගේ සැබෑ ආදායම අඩුවීම තුළින් ඇති වන පීඩනය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන රටාව ප්‍රධාන වශයෙන් පාරිභෝගික භාණ්ඩ පරිභෝජනයට පමණක් සීමා වී ඇති බව නිරීක්ෂණය වන බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

විදුලිබල, ඉන්ධන සහ රෝහල් සම්බන්ධ සේවා අනිවාර්ය සේවා බවට පත් කෙරේ
තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් දෑ සම්බන්ධ වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.
– විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා
– ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා
– රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම හා සම්බන්ධ සියලු සේවා
