මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 02 ක් ඉදිරිපත් වෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 02ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ සමාජ සාධාරණත්ව පක්ෂය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් භාෂණයේ හා ප්‍රකාශනයේ මූලික අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවයි පෙත්සම්කරුවන් පෙන්වාදෙන්නේ.

එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමතවී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

ප්‍රබ​ල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ ස්ථාන රැසක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් බදුල්ල, වව්නියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

652692b69d22e

රට හැර ගිය පිරිස නැවත ලංකාවට එනු ඇතැයි අප විශ්වාස කරනවා – ජනපති

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අද අප සිටින්නේ රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩගනිමින් සිටින අවස්ථාවක බවත් අපට අවශ්‍ය භාණ්ඩ ආනයනය කළ යුතු අතර ඒ සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය වන බවත් ඒ සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය අපට නොමැතිවීම හේතුවෙන් ණය ලබා ගැනීමට සිදුවන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

අපි ණය චක්‍රයේ සිටිනවද ඉන් ඉවත්වී ඉදිරියට යනවද කියන එක පිළිබඳ අප අවධානය යොමු කළ යුතු බවත් මේ නිසා රටේ ඉතා තරගකාරි ආර්ථිකයක් සමඟ ලෝක වෙළෙඳපොළ වෙත ගමන් කර වෙළෙඳ භාණ්ඩවලින් සහ සේවාවලින් අපට ලැබෙන ආදායම වැඩි කර ගෙන අතිරික්තයක් පවත්වාගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ ආකාරයට කටයුතු කිරීමෙන් රට හැර ගිය පිරිසත් නැවත ලංකාවට එනු ඇතැයි අප විශ්වාස කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ඇස් රෝගයක් පැතිරයාම ගැන අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු වුවත් රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම ඇස් රෝගය වෛරසයක් හේතුවෙන් පැතිර යන අතර ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම, ඇස් කෙවෙන ගතිය ආදීය එහි රෝග ලක්ෂණ වනවා.

එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙය ඉතා වේගයෙන් බෝවිය හැකි අතර එය සිදුවන්නේ රෝගී පුද්ගලයාගේ කඳුළු මඟින් සහ ඒ ආශ්‍රිත ශ්‍රාවයන් ගෑවීමෙන් පමණක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ දරුවන් පිරිසක් අතරද මෙම රෝගය ව්‍යාප්තවී ඇති අතර එම රෝගී දරුවන් වාර්තා වූ පන්ති කිහිපයක් පැවැත්වීම තාවකාලිකව නතර කළ බවයි එහි විදුහල්පතිවරයා සඳහන් කළේ.

නියෝජ්‍ය පොලිස්පතිවරු 08ක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරින් 12 දෙනෙකු ස්ථාන මාරු කර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.

ඒ අනුව කේ. කඩුපිටිය බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ දිසාව භාර තනතුරට ස්ථාන මාරු කර ඇති අතර නියෝජ්‍ය පොලිස්පති ජි.එම්.එච්.බී.  සිරිවර්ධන ප්‍රවාහන හා සංදේශ දිසාවේ සිට පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබෙනවා.

එසේම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකු ට හා රාජකාරි ඉටුකිරිම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ද ස්ථාන මාරුවිම් ලබාදී ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට හා පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට ද ස්ථාන මාරුවිම් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

SL vs PAK: පාකිස්ථානයට ලකුණු 345 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අටවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 344 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 122 ක්, පැතුම් නිස්සංක ලකුණු 51 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 108 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Hasan Ali කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායම හිමිවී ඇති ඉලක්කය ලකුණු 345 ක්.

SL vs PAK: සධීරගෙන් ශතකයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගයේදී ශතකයක් වාර්තා කිරීමට සධීර සමරවික්‍රම සමත් වුණා.

ඔහුගේ ශතකය පන්දු 82 කින් වාර්තා කළ අතර ඒ සඳහා හතරේ පහර 10 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් වුණා.

SL vs PAK: පන්දුවාර 40 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 283/4

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අටවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 283 ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී සධීර සමරවික්‍රම ලකුණු 76 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 23 ක් ලබාගෙන සිටිනවා.

SL vs PAK: පන්දුවාර 35 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 247/4

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අටවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 247 ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 122 ක් ලබා සිටියදී දවී ගිය අතර කඩුල්ලේ රැඳී සිටින සධීර සමරවික්‍රම ලකුණු 54 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 09 ක් ලබාගෙන සිටිනවා.

SL vs PAK: කුසල්ගෙන් ශතකයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඔහුගේ ශතකය පන්දු 65 කින් වාර්තා කළ අතර ඒ සඳහා හතරේ පහර 13 ක් හා හයේ පහර 4 ක් ඇතුළත් වුණා.