විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ රාත්‍රියේ ප්‍රදේශ රැසක මහජන විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක ඊයේ (28) රාත්‍රියේ ද මහජන විරෝධතා පවත්වා තිබෙනවා.

ඒ අනුව මීගමුව- පිටපන ප්‍රදේශයේ ජනතාව විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

මීට අමතරව කුරුණෑගල, අලුත්වල, අම්පාර, හොරණ යන ප්‍රදේශවල සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය විසින්ද විරෝධතා සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.

මෙම මහජන විරෝධතා සඳහා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

අනුලා රත්නායකගේ දේහය දිවයිනට

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායකගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

පසුගිය 07වනදා දේශසීමාව ආක්‍රමණය කළ හමාස් සටන්කාමීන් ඇය පදිංචිව සිටි ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ ගම්මානයට ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

එම ප්‍රහාරයෙන් ඇය මියගොස් තිබූ අතර මිය යන විට 49 වැනි වියේ පසුවූ අනුලා රත්නායක දෙදරු මවක්.

දේහය දහවල් පවුලේ ඥාතීන්ට භාරදීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ICC CWC 2023 : නවසීලන්තයට ලකුණු 389 ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 388 ක් රැස් කරගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 389 ක්.

විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ඊයේ රාත්‍රියේත් ප්‍රදේශ කීපය​ක පන්දම් විරෝධතා

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව ඊයේ (27) රාත්‍රියේ ද ප්‍රදේශ කිහිපයක පන්දම් දල්වමින් මහජන විරෝධතා පවත්වා තිබෙනවා.

බෙලිඅත්ත සහ හෝමාගම යන ප්‍රදේශවල ජාතික ජනබලවේගය විසින් විරෝධතා සංවිධානය කර තිබූ අතර, ගලිගමුව, පානදුර, වරකාපොළ, මාවතගම සහ කළුතර යන ප්‍රදේශවල සමගි ජන බලවේගය විසින් පන්දම් විරෝධතා සංවිධානය කර තිබුනා.

එමෙන්ම 43 වැනි සේනාංකය පිටකොටුවේදී විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර, Youth for Change සංවිධානය නුගේගොඩදී විරෝධතාවක් සංවිධානය කර තිබුනා.

තවද විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ගෙලිඔය ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානයේ කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූ බවද වාර්තා වනවා.

ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළට

දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න පවසන්නේ.

ජපානයේ රැකියා දෙන බව පවසා ලක්ෂ 163ක් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් සිදුකළ මුදල් වංචාවකට අදාළව සැකකරුවන් දෙදෙනෙක් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 163කට අධික මුදලක් මෙම පුද්ගලයින් දෙදෙනා වංචාකර ඇති බවට පැමිණිලි 7ක් ලැබී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 35 ක් වන අතර ඔවුන් ඉඹුල්ගොඩ හා හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

පුළුවන්නම් රනිල් එන්න කුරුණෑගල ඉස්කෝලෙකට, අපි ගලවනවා කලිසම – ගුරු සංගමයේ උප සභාපති

තවදුරටත් මැර බලයට සහ යටත් කිරීම්වලට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සූදානම් නොමැති බව ලංකා ගුරු සංගමයේ සංගමයේ උප සභාපති එම්.ඒ. විමලසිරි පවසනවා.

ජනාධිපතිවරයා මඩකලපුව ප්‍රදේශයේ අහිංසක දරුවන් සිටින පාසලක් වෙත ගොස් බෙදුම්වාදය සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කථා පවත්වන බවද, ඒ පිළිබඳ ලැජ්ජාවන බවද ඔහු සඳහන් කරනවා.

එම නිසා මින් පසු කිසිඳු පාසලකට ඇතුළු වීමට ජනාධිපතිවරයාට ඉඩ නොදෙන බවද, හැකිනම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඕනෑම පාසලකට පැමිණ පෙන්වන ලෙසද ඔහු අභියෝග කරනවා.

පසුගිය 24 වනදා බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යංශය අසලට රැස්වූ ගුරු විදුහල්පතිවරුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාර හෙළා දැකීම සඳහා, ඉබ්බාගමුව නගරයේ ගුරුවර ගුරුවරියන් විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතරතුර ඔහු මේ බව සඳහන් කළා.

ගුණාත්මක ඖෂධ අඛණ්ඩව ලබාදෙන්න කටයුතු කරනවා – රමේෂ් පතිරණ

ඉදිරියේදී ගුණාත්මක ඖෂධ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව නව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

මුදල් අමාත්‍යාංශය විසින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවද, සෞඛ්‍ය සේවකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවද ඔහු අවධාරණය කරනවා.

එළඹෙන ​යල කන්නයේත් නියඟයක් ඇති විය හැකියි – කෘෂිකර්ම ඇමති

එළඹෙන යල කන්නයේදී ද නියඟයක් ඇති විය හැකි බවට තොරතුරු අනාවරණ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

පසුගිය කන්නයේ පැවතියටත් වඩා වැඩි නියඟයක් එළඹෙන යල කන්නයේ ඇතිවන බවට වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

ධානිෂ් අලී අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී ඊයේ (27) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීම යන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අද (28) දිනයේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.