දේශබන්දුට 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක්

එළඹෙන අප්‍රේල් 25 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරි අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙන යාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබෙනවා.

ඉකුත් අප්‍රේල් මස 10 වැනිදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව, මාතර මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

රනිල් අප්‍රේල් 25 වැනිද‍ා අල්ලස් කොමිසම හමුවට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 25 වැනිද‍ා පෙරවරු 9.30 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

චාමර සම්පත් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය පැය 24 තුළ පැමිණිලි 137ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (20) දිනයේ පමණක් පැමිණිලි 137ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2,011ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඉන් පැමිණිලි 1,850 ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 09ක් ලැබී ඇති බවද සඳහන්.

ලැබී ඇති පැමිණිලි 2,011න් 1,642ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 369 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

‍අදාළ නිවේදනය පහතින්.

news images

මර්වින් සිල්වා මැයි 05 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු මැයි 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩුවෙහි සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මෙම සිද්ධියට අදාළ හිටපු අමාත්‍යවරයෙකු වූ ප්‍රසන්න රණවීර තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැති බව ද නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගෙන එළැඹෙන 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහර මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගෙලිඔය ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගෙලිඔය ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු විසින් ගොනු කර තිබූ දික්කසාද නඩුවකට අදාළ තීන්දුව ඉක්මනින් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සලසා, එකී තීන්දුව ලබා දීමට එම සැකකරු විසින් අදාළ පාර්ශ්වයන්ගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ.

මහනුවර අධිකරණ සංකීර්ණයේ පිහිටි කාති අධිකරණයේදී තීන්දුව ප්‍රකාශ කර, එම තීන්දුවේ පිටපතක් සහ දික්කසාද සහතිකය ලබා දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබා ගැනීම යන අල්ලස් චෝදනා මත සැකකරු එම කොමිසමේ නිලධාරීන් විසින් අද (21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම ගැන ජනපති සිය ශෝකය පළ කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් උන්වහන්සේගේ අභාවය පිළිබඳව තමාගේ හෘදයාංගම ශෝකය පළ කරන බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා උන්වහන්සේගේ නොසැලෙන කැපවීම ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බවද, උන්වහන්සේගේ දයානුකම්පාව, යුක්තිය සහ අන්තර් ආගමික සහජීවනය පිළිබඳ මතකය ඉදිරි පරම්පරාවන්ට ද උද්යෝගීමත් පූර්වාදර්ශයක් ලබා දෙනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ X පණිවිඩය පහතින්.

news images

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බව වතිකානුව වාර්තා කරනවා.

අද පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බවයි වතිකානුව නිවේදනය කරන්නේ.

මිය යන විට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 88 වන වියේ පසු වුණා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව CID යට භාරදෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව, ඉදිරි විමර්ශන සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව එම වාර්තාව මෙලෙස භාරදී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය යහපාලන රජය විසින් අදාළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ අතර එහි වාර්තාව මෙලෙස භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොකේන් තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙක් අත්අඩංගුවට

නීති විරෝධිව මෙරටට රැගෙන ආ කොකේන් තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් කොකේන් කිලෝ 04 ග්‍රෑම් 855ක් මෙලෙස රැගෙනවිත් ඇති අතර එහි වටිනාකම රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

දළදා වහන්සේ යැයි පැවසෙ​න ඡායාරූපයක් සමාජ මාධ්‍ය වල සංසරණ​ය වීම ගැ​න විමර්ශනයක්

‘සිරි දළදා වන්දනාව’ සිදුකෙරෙන මෙම දිනවල ‘ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ’ බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින ඡායාරූපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාරී තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේ ඡායාරූප ලබාගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස තිබියදී සංසරණය වන මෙම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් හෝ ලබාගත් ඡායාරූපයක්ද නැතහොත් මෙය සංස්කරණය කරන ලද්දක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images