කැබිනට් අනු කමිටුව ICC යෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත්කළ කැබිනට් අනුකමිටුව විසින් අදාළ ඉල්ලීම සිදුකළ බවයි අද (17) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුතුව එම කැබිනට් අනුකමිටුව පත් කළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමටද එම අනු කමිටුවට බලය පවරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දේවගැති ජෙරම් අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48 තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

බදු වැඩි කිරීම නිසා මත්පැන් අලෙවිය 12%කින් අඩුවෙලා – මත්පැන් සමාගම්

2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාල පරිච්ඡේදය තුළ දී මෙරට සමස්ත මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස් ඇති බව එම සමාගම් පවසනවා.

ඒ අනුව 2023 වසරේ ජනවාරි සහ ජූලි මාසවල දී මද්‍යසාර පාන සඳහා කළ සංශෝධනවලින් 44%කින් පමණ බදු ඉහළ නංවා ඇති බවයි මෙරට ලැයිස්තුගත සමාගමක් වන LION BREWERY CEYLON PLC සමාගම සිය නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

බදු ඉහළ නැංවීම නිසා මත්පැන් මිල ඉහළ යාම, මෙලෙස ඒ සඳහා පවතින ඉල්ලුම පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත්, මේ හේතුවෙන් නීති විරෝධී මත්පැන් භාවිතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

6556ea76cd48apdf_page_1

නවක හෙද හෙදියන් 2519 කට අද පත්වීම්

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් මෙහිදී පත්වීම් ලැබීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට දින ප්‍රකාශයට පත් කරයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය අයදුම් කිරීමට දිනයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4 වන දින දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කිරිමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උඩරට දුම්රිය ගමනාගමනයට බාධා

දියතලාව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවයි සඳහන් වන්නේ.

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ සිව්වන දිනය අද

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය අද (17) සිව්වන දිනටත් පැවැත්වෙනවා.

අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජනපති මාලදිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.

පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුයිසු පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රට වැටෙන්න ප්‍රධානම හේතුව ගෝඨාභය ආණ්ඩුව හිතවතුන්ට ලා​භ ගන්න බිලියන 600 ක බදු කැපීම – හර්ෂ

රටේ ආර්ථික පරිහානියට ප්‍රධානතම හේතුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් හිතවතුන්ට ආර්ථික වාසි ලබාගැනීම සඳහා වසරකට රුපියල් බිලියන 600 ක බදු කපා හැරීම ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

තමන් එකල විපක්ෂයේ සිට එසේ බදු කපා හැරියොත් රට කඩාවැටෙන බවට අනතුරු අඟවමින්, එය නොකරන ලෙස දැඩි ලෙස ඉල්ලීම් කළද, ආණ්ඩුව ඊට සවන් නොදුන් බවයි ඔහු පෙන්වා දුන්නේ.

දූෂිතයින් සමඟින් කිසිසේත් රටක් ගොඩනැගිය නොහැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන්ට ඇප

පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ONMAX DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 05 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා.

නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 03 ක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කර තිබෙනවා.