සභාපතිට ඇති චෝදනාවලට කෝප් කමිටුව වහන එක නෙවෙයි කරන්න තියෙන්නේ – දයාසිරි ජයසේකර

වර්තමාන කෝප් කමිටුවේ සභාපති ගැන චෝදනා රාශියක් ඇති බවත්, නමුත් ඒ නිසා කෝප් කමිටුව වසා දැමීම ඊට විසඳුමක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ලබන සඳුදා දින හෝ මෙය අවසන් කර, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට කමිටුව භාරදී, නිවැරදිව හා ගෞරවයක් ඇතුව කෝප් කමිටුව කරගෙන යාමට ඉඩදෙන ලෙසයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

කථානායකවරයාගේ අණකින් මේ දෙසැම්බර් මාසය වනතුරු සියළුම කෝප් කමිටු රැස්වීම් නවත්වා ඇති බවත්, එසේ නොවුනා නම්, මේ මාසයේ ආයතන ගණනාවක් ගෙන්වා කථා කරන්නට කාලය තිබුණු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

බලශක්ති ක්ෂේත්‍රයෙන් VAT බදු අය නොකිරීමට සාකච්ඡා කරනවා – දිලුම් අමුණුගම

මෑතකදී වැඩි කරන ලද වැට් බද්ද බලශක්ති ක්ෂේත්‍රයෙන් අය නොකිරීම සඳහා සාකච්ඡා කරමින් ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ ගැන ජනාධිපතිවරයාගේද අවධානය යොමුව ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගද ඒ පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

නොගෙවා පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක්

මේ වනවිට නොගෙවා පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් පමණ වන බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

දැනට එකතු කර ගෙන ඇත්තේ රුපියල් බිලියන 175 ක තරම් බදු ප්‍රමාණයක් බව ද,  රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ප්‍රමාණවත් තරමේ මුදලක බදු අයකර ගත නොහැකිව සිර වී ඇති බව ද එහිදී හෙළිවුනා.

ටියුෂන් පන්ති, නීතිඥ ගාස්තු යනාදියෙන් බදු අයකර ගැනීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම ආදී යෝජනා ගැන ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළ බවයි කාරක සභාව පවසන්නේ.

උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල පහළට

එළඹෙන උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් පහළ යනු ඇතැයි සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසනවා.

මේ වන විට රුපියල් 35-40 අතර මිලකට බිත්තරයක් අලෙවි කිරීමේ හැකියාව පවතින බවද, කෙසේ නමුත්, වැට් බදු වැඩි කිරීම නිසා ආනයනික සත්ත්ව ආහාර මිල ගණන්වල ඉහළ යාමක් සිදුවුවහොත් මෙම තත්ත්වය වෙනස් විය හැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

යල කන්නයේ වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම හෙට (19)  සිදුකෙරෙන බව කෘෂිකර්ම අමත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව, පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389 ක මුදලක් ගොවීන්ට වන්දි වශයෙන් ලබාදීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

පසුගිය යල කන්නයේදී නියඟයෙන් අක්කර 65,000ක් හානියට පත්වූ අතර, අධික වර්ෂාව නිසා කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත්වූ බවට හානි තක්සේරු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කැළණිතිස්ස සති 06 කට වැසේ

කැළණිතිස්ස බලාගාරය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (17) සිට සති 06 ක් වසා දැමෙන බව වාර්තා වනවා.

බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු සඳහා මෙසේ වසා දැමෙන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් ඛෙත්තාරාම පාර ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 04ක් එම ස්ථානයට පිටත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය සඳහන් කළේ.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට විමර්ශනයක් සඳහා කැඳවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.

පසුගියදා තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දීම අනුව මෙම කැඳවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව නොවැම්බර් 22 වනදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෝප් කමිටු රැස්වීම් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළා.