වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහ නායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසනවා.

ඒ අනුව අද (24) උදෑසන පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළා.

එසේම, මේ වන විට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේදී තීන්දු තීරණ කිහිපයක් ගත් බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

වැසි සහ ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිගුරුම් සහිත වැසි සහ ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවට දැනුම්දෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සිරි දළදා වන්දනාව සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කෙරේ

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග, යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයින් ප්‍රමාණය ද ඉහළ නැංවීම සඳහා ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දහවල් වන විට 250,000කට ආසන්න සැදැහැවතුන් පිරිසක් සිරි දළදා වන්දනාවට පැමිණ ඇති අතර, ඉදිරි දිනවල මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

මෙම තත්ත්වය තුළ, සැදැහැවතුන් හැසිරවීමේ කටයුතු පොලීසියට පමණක් සිදුකළ නොහැකි බැවින්, යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවල සහාය ඒ සඳහා යොදා ගැනීමට අද (23) පෙරවරුවේ රැස්වූ සිරි දළදා වන්දනා කමිටුව විසින් තීරණය කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දුම්රියක් පීලිපැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රියක් ගම්පහ දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය සඳහා වන කමිටුව පත්කෙරේ

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය සිදුකිරීම සඳහා වන ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල හා පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන අය නම් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය පැය 24 තුළ පැමිණිලි 131ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (22) දිනයේ පමණක් පැමිණිලි 131ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2,298ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඉන් පැමිණිලි 2,116ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 11ක් ලැබී ඇති බවද සඳහන්.

ලැබී ඇති පැමිණිලි 2,298න් 1,886ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 412 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

‍අදාළ නිවේදනය පහතින්.

news images

අල්ලස් ලබාගත් ලංගම නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ත්‍රිකුණාමලය – වව්නියාව මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලය ඩිපෝවට අයත් ලංගම බස් රථයේ මගීන්ගේ ප්‍රවේශ පත්‍ර, පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළ අවස්ථාවකදී, මගියෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොතිබීම සම්බන්ධව එම බස් රථයේ කොන්දොස්තර වශයෙන් සේවය කළ පැමිණිලිකරුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා, ඔහුගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම විනය පරීක්ෂණයෙන් පැමිණිලිකරුට අගතියක් නොවන පරිදි පරීක්ෂණ කටයුතු අවසන් කර, නැවත සේවය පිහිටුවීමට අදාළ කටයුතු කරදීම සඳහා අල්ලස් ලෙස, ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියා විසින් රුපියල් 100,000 මුදලක් ඉල්ලා ඇති බව පැවසෙනවා.

පසුව එම කාර්යාලයේ ආරක්ෂක නිලධාරියා ලවා එකී මුදල සැකකරු විසින් ඉල්ලා ලබාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට රැගෙන එයි

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (23) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යාම සිදුකර තිබෙනවා.

දේහය රැගත් පෙරහැර ශාන්ත පීතර චතුරශ්‍රය හරහා ගමන් කරන විට, 20,000 කට අධික විශාල ජනතාවක් රැස්වී සිය ශෝකය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට මේ වන විට අවස්ථාව ලබාදී ඇති අතර, ඒ සඳහා වන වේලාවන්ද මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ශුද්ධෝත්තම පියාණන්ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බවයි වතිකානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ පිය පුතු දෙපළක් ගැන පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරයි

ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අද (32) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබෙන්නේ.

බන්දුල පියල් හා මාධව සුදර්ශන යන එම පිය පුතු දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද, ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අදාළ පුද්ගලයින් දෙදෙනා විදේශගතවීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.