කටුනායක ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ සභාපති ඇතුළු නායකයින් 28 දෙනෙකුට අනිවාර්ය නිවාඩු

ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය පියවර ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොළ තුළ අලුතින් පිහිටවූ අදාළ වෘත්තීය සමිතියේ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් සේවාවල නිරත ගුවන් සමාගම් වෙත එම ගුවන් සේවා කඩාකප්පල් කිරීමේ අරමුණින් ලිපි යවා ඇති බවත්, එසේ කිරීමට ඔවුන්ට නීත්‍යානුකූල සහ සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වහාම බලපැවැත්වෙන පරිදි ඉහත පිරිස අනිවාර්ය නිවාඩු ගැන්වීමටත්, එමෙන්ම පරීක්ෂණ අවසන් වන තෙක් ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ කිසිදු පරිශ්‍රයක් වෙත ඇතුළුවීම තහනම් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20 ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි

ඉන්දියාවේ දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග එරට භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර සඳහන් කරනවා.

ඒ අනුව ඩීසල් දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ලබා දීමට ඉන්දීය රජය ඉදිරිපත්ව ඇති බවත්, ඒවා මෙරට දුම්රිය මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් පරීක්ෂා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

මෙයින් දුම්රිය එන්ජින් දෙකක් ලබන පෙබරවාරි මාසයේදී මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කරන්නේ.

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ලබා ගන්නා ආකාරය ගැන දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (Online) හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් බදු අංකයක් සඳහා වන අයදුම්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

එසේම මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කරගෙන පිටපතක් මුද්‍රණය කරගත හැකි අතර, එම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන බවයි සඳහන් වන්නේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ බදු අංකය ලබාගැනීමේදී ඒ සඳහා වන ලියාපදිංචි අයදුම්පතක් සම්පූර්ණ කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2 වන මහලේ ප්‍රාථමික ලියාපදිංචි අංශයට හෝ යම් අයකුට ආසන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකටද ඉදිරිපත් කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් 109 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන්​න

කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු වෙතොත් 109 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකි බවයි පොලීසිය සඳහන් කළේ.

අවුරුදු 75 ක් තිස්සේ දේශපාලන පක්ෂ බොරු කියලා රට වැටිලා තියෙන්නේ – වජිර

වසර 75 ක් තිස්සේ දේශපාලන පක්ෂ බොරු ප්‍රකාශ කිරීමෙන් රට වැටී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ අනුව මෙතැන් එහාට දේශපාලන පක්ෂවලට බොරු කීමේ අයිතිය නවතා දැමිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වැට් බද්දට චෝදනා කළද, එම මාර්ගයේ යාම හැර විකල්පයක් නොමැති බවත්, පෙට්‍රල් හෝ භූමිතෙල් නොතිබුණ රටක දැන් භාණ්ඩ ඇති බවද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගැටලුවක් නොමැතිව ක්‍රමාණුකූලව ඉදිරියට ගියවිට වැඩි වූ භාණ්ඩ මිල අඩු කළ හැකි බවයි.

ජනාධිපති අරමුදල මඟින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 100% දක්වා ඉහළට

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙනවා.

එසේම 2024 වර්ෂයේ සිට ජනාධිපති අරමුදල විසින් මහජනතාව වෙත සලසනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් කාර්යක්ෂමව ඉටුකිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම අනුව පියවර ගෙන තිබෙන බවයි ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර සඳහන් කළේ.

ඒ අනුව මෙතෙක් වෛද්‍යාධාර නොගෙවන ලද රෝග හඳුනාගෙන එම රෝග සඳහා ද වෛද්‍යාධාර ලබා දීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ලංවිම වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වලක්වාළමින් අධිකරණ නියෝගයක්

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශ පරිශ්‍රය සහ මහ බැංකු පරිශ්‍රයට අද දින ඇතුළුවීමෙන් වැළකී සිටිය යුතු බවයි රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට නියෝග කර තිබෙන්නේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව විදුලි සේවකයින් විරෝධතා ආරම්භ කර තිබෙනවා.

තීරු බදු රහිතව ගෙන්වූ ජංගම දුරකතන තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) උදෑසන පෑලියගොඩ පොලිස් වසමේ මීගමුව – කොළඹ මාර්ගයේදී හදිසි මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සැක සහිත වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම දුරකථන තොගය හමුවූ බවයි සඳහන් වන්නේ.

භාවිත නොකරන ලද ජංගම දුරකතන 246 ක් සහ විදෙස් රටවල භාවිත කළ ජංගම දුරකථන 77 ක් මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා සහ වෑන් රථය අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලීසියට ඉදිරිපත් කර ඇති අතර, මෙම සැකකරුවන් කොළඹ 12 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 සහ 43 වයසෙහි පසුවන අය බවයි වාර්තා වන්නේ.

වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධ කමිටු වාර්තාව අද ජනාධිපතිවරයාට

වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධ කමිටු වාර්තාව අද (04) ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අදාළ වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරෙන බවයි සඳහන් වන්නේ.

එයට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් පසු වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වා ​ට

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මේ බව සඳහන් කළා.

එසේම ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.