ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ හම්බන්තොට, වව්නියාව මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සරසවි ප්‍රවේශයට 64.43%ක් සුදුසුකම් ලබයි

2024 උසස් පෙළ ප්‍රතිපල අනුව මෙවර  විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එය සමස්ත ප්‍රමාණයෙන් 64.43%ක් වන අතර මේ සඳහා පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ද ඇතුළත් වන බවයි සඳහන් වෙන්නේ.

මේ අතර සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට සිය ප්‍රතිඵල සටහන් බාගත කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා එළැඹෙන 28 වැනි දින සිට පහසුකම් සලසා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

news images

කෙටි නිහඬතාවකින් පසුව යළි ඇරැඹුණු ගයමු

ලාංකේය ජන ගී සම්ප්‍රදායට නව අරුත් සපයමින් දිවංගත ලයනල් රන්වල සූරීන් විසින් ඉටුකළ විශිෂ්ට මෙහෙවරට සමගාමීව නවමු මංපෙත් ඔස්සේ යමින් වැඩිහිටි පරපුරේ එදා ගීත නූතන පරපුරටද නව පරපුරේ සාරවත් ගීත වැඩිහිටියනටද හඳුන්වාදෙන ” ගයමු ” වැඩසටහන ඇතුළු තවත් රසාලිප්ත වැඩ සටහන් රැසක් පසුගිය පෙබරවාරි මාසයේ සිට සෑම මසකට වරක් නිදහස් චතුරශ්‍රයේදි රන්වල පදනම කරළියට ගෙන එයි…

එම ඉදිරි කාර්යයන් පිළිබඳව එම පදනමේ මෙහෙයුම් අධ්‍යක්ෂ සහන් රන්වල මහතා සමග කරන ලද සංලාපයකි මේ !

ඔබගේ රන්වල පදනම යටතේ බොහෝ කලාත්මක වැඩසටහන් සිදුකෙරෙනවා…මෙවර ඔබගේ ” ගයමු” වැඩසටහන පිළිබඳව මුලින්ම කතා කළොත්..?

ඔව්… මෙවර බස්නාහිර පළාත් සභාව..රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූ ලිකත්වයෙන් අපේ රන්වල පදනම ජනගත කරන අලුත්ම වැඩ සටහන “ගයමු ” සංගීතමය වැඩසටහන පටන් ගන්නේ..අපි මෙහෙම හිතමු..සමහර අවස්ථාවලදි අපට ඇහෙන දෙයක් තමයි වැඩිහිටි පරපුර අපේ ඊළඟ පරපුර ගැන නගන මැසිවිලි..නව පරපුරේ සිතුම් පැතුම්..ආදිය ගැන..නමුත් වැඩිහිටියනට අමතකයි ඔවුන් ආභාසය ලැබුවේත් ඔවුන්ගේ වැඩිහිටියන්ගෙන් නේද කියන කාරණය..අපි මෙහෙම කියමු..වයසින් 30..40…50 ඉන්න අය සුනිල් ශාන්තයන්ගෙ ගීත චාරිකා යද්දි එහෙම ගයනවනෙ..එයාලගෙ මවුපියන් වැඩිහිටියන් ඒ ගීත ගයපු නිසානෙ එයාලට ඒවා ලැබුනෙණඅපේ වැඩිහිටියන් ඒ බව අමතක කරලා..මවුපියන් ගයද්දි දරුවන් ෆෝන් එකත් එක්ක ඉන්න අවස්ථා තියෙනවා..මේ අපේ වැඩ සටහනින් එකම තැනකදී තම දූ දරුවන් එක්ව පවුලේ ඔක්කොම අයත් එකතුව එකට ගී ගයනවා..වැඩිහිටි හා ළමා දෙපිරිසම එක්ව ගයනවා..

ඒකයි මෙහි විශේෂත්වය..

මේ වැඩසටහන කරළියට ගෙන එන්නේ ප්‍රථම වරටද.?

මේ වැඩ සටහන අපි මුලින්ම කරළියට ගෙනාවේ 2012 මාර්තු මාසයෙදි…ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදි…එහි අධ්‍යක්ෂ බන්දුල ඒකනායක මහත්මයා එය නැරඹුවාට පස්සෙ අපට යෝජනා කළා..මේ වැඩ සටහන මාසිකව ඉදිරිපත් කරමු කියලා..ඉතින්..එතුමාගෙ එම යෝජනාව 2015 දක්වාම අපි මාසිකව කරළියට ගෙනාවා…සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මහත්මියගෙ යෝජනාවක් අනුව අපි මේ වැඩ සටහන නිදහස් චතුරස්‍රයට රැගෙන ආවා..නමුත් කොවිඩ් උවදුරත් එක්කල අපෙ වැඩ සටහන් ඇන හිටියා…

මේ ” ගයමු ” සංගීතමය වැඩ සටහනේ අන්තර්ගතය පිළිබඳව විග්‍රහයක් කළොත්…?

මේ වැඩ සටහන පැරණි ගීත හඳුන්වා දෙන එකක් නම් නෙවෙයි..⁣ග්‍රැමෆෝන් යුගයේ සිට මේ ඒ ඒ යුගය දක්වා ම යුග යුග තුඩ තුඩ රැව්දෙන සිංහල ගී කෙත සදාහරිත ගී…පවුල් පිටින් එක්ව…රන්වල මතු පරපුර සමඟ ගයමු…”

මෙහිදී ගීත ගයන්නේ අපේ රන්වල පදනමේ රන්වල බලකායේ දූ දරුවන් පමණක් නම් නෙවෙයි..ඒ දරුවන් වෙනුවෙන් සහභාගි වුණු සියලුම වැඩිහිටියන්ද දරුවන් සමග එක්ව ගයනවා..එම ගීත ලැයිස්තුව සඳහන් පොත් පිංචක් අප වැඩිහිටියන් අතට දෙනවා…එහිදී ගීත ගැයීම විතරක් නෙවි…ගීත සාහිත්‍යය ගැන..ගීතයේ අන්තර්ගතය ගැන..නිර්මාණයේ වැදගත්කම් ගැන සහ එහි ඇතුළාන්තය ගැන විග්‍රහයක යෙදෙමින් දැනුම්වත් කෙරෙනවා..

මේ වැඩ සටහන්වලදි ගීතයක සාරවත් බව කතා කරන්නට ආචාර්ය නුවන් නයනජිත් කුමාර…බන්දුල නානායක්කාරවසම්…ආචර්ය අජන්තා රණසිංහ..ශ්‍රී නාත් මද්දුමගේ…සිසිර දිසානායක ආදීන් මීට ඉහතදී සහභාගි වී තිබෙනවා…ඒ වගේම රජිව් සෙබස්තියන් ..ජනනාත් වරකාගොඩ…ආදීන් ද විටින් විට මීට එක්වී තිබෙනවා..මේ සඳහා පසුබිම් සංගීතයට ශ්‍රී ලංකා පොලිස් වාද්‍ය කණ්ඩායම..වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව..ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් සහාය ලබාදෙනවා…

රන්වල පදනමේ ගායන ශිල්පිනියන් වන අමන්ද්‍යා උත්පලී..වසන්තා මධුරංගනී..විශාඛා වීරසිංහ…ප්‍රභා දිසානායක ..නිලුපුල් මදුරංගා..සම්මානී යසෝදරා… සමඟින් චිරන්ත රන්වල ..දිලුම් නිරංජ..නඳුන් කුලරත්න..අසංක මීමැඩුම..සංගීත් ගුණරත්න..නිසල් සත්සර..කසුන් දොඹගොල්ල..සුජිත් කුමාර..යන ගායන ශිල්පීන්ද මෙහි ගයති..

තවත් එක් දෙයක් තමයි. පුවත්පත්වල පලවුණානෙ දැක්කොත් පද්මාවතී..වගෙ කාටූන්..එම ගීතයත් මෙහි ගැයෙනවා වගේම මේ දැක්කොත් පද්මාවතී කාටූනය ගැන..එම නිර්මාණකරු කැමිලස් පෙරේරා මහතා ගැන සහ කාටූනය සමාජයට පිවිසියේ ඇයි කියන කාරණයද අප දරුවන්ට ⁣එම ගීතයට සමගාමීව පහදල දෙනවා…

“විශ්වය සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්…” මුතුහර ගීතයද මෙහි ගැයෙනවා..දරුවන් සමග වැඩිහිටියන් එකතු වෙලා…මතකයේ තවමත් ඉතිරිව ඇති..එහෙත් මාධ්‍ය තුළින් නොඇසෙන ගීත මෙයට ඇතුළත්..හැබැයි නිර්නායකයන් නැහැ…එකම පවුලක අව වගේ…පවුලේ කාටත් එකට එක්ව රසවිඳීය හැකි ගීත පමණයි..එතැනදී එම්.එස්..නිහාල් නෙල්සන් ආදීන්ගේ ගීතද තියෙනවා…

නව පරපුරේ ගීත…පිළිබඳවත් ඔබ කතා කළා…?

ඔව්..අලුත් ම ගීත..අලුත් ගීත වූ පමණින්ම නොවෙයි..අර්ථයෙන්..රසඥතාවට සමීප දරුවන් ගයනවා..ඉන් සිදුකරන්නේ අලුත් පරපුරේ අලුත් ගීත ගැන වැඩිහිටියන් දැනුම්වත් කිරීමයි…අලුත් පරපුරේ ගීත වැඩක් නැහැ කියන වැඩිහිටි පිරිසක්ද සිටින නිසා එලෙසින් අප ඉදිරිපත් කරන්නේ…

අලුත් අවුරුදු නිමිත්තෙන් පසුගිය 29 වනදා කොළඹගම අවුරුදු පිළිබඳවත් කතා කරමු…?:

අලුත් සහ පරණ අවුරුදු වැඩ සටහන පසුගිය 29 දා පැවැත්වුණි..අපේ රන්වල පදනම හා එක්ව කටයුතු කරන්නේ ඒ නතභඵ සහ චැනල් අයි. වෝටර්ස් එජ් එකතුවෙන්…

මෙහි ඇති විශේෂත්වය ?

වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැත්වුණ මෙම වැඩසටහනට සමගාමීව මෙහි වැඩ බිම් විනෝද ක්‍රීඩා වගේම රූකඩ මැදිරියක් තිබුණා..එහිදී රූකඩ නිර්මාණය කැරෙන හැටි සියැසින් දැකබලා ගතහැකියි..ලංකාවේ සටන් කලාව අංගම්පොර තව මැදිරියක…වෙද මැදිරියක් තියෙනවා..එයින් සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තබාගැනීම පිළිබඳ දැනුම්වත් වුණා…ඒ වගේම පුත්තලමේ සිරන්බි කුම්බේ වාසය කරන අප්‍රිකානු සම්භවයක් ඇති පිරිසක්ද මෙයට එකතු කළා..ඒ අයට ආවේණික කලා නිර්මාණ ද ඉදිරිපත් කෙරෙනවා ..

රන්වල පදනම පිළිබඳව කීවොත්..?

රන්වල පදනමේ රන්වල බලකායේ ශිල්පීන් සහ ශිල්පිනියන් මෙයට දායක වුණා..මාතර..මහනුවර..මාතලේ..කුරුණෑගල….ගම්පහ..සහ බත්තරමුල්ල අපේගම යන ශාඛාවල මවුපියන්ගේද සහභාගිත්වයෙන් විවිධ නිර්මාණ මීට ඇතුළත් වුණා..ජන ක්‍රීඩා විසිතුරු අංශ පිළිබඳව මහින්ද කුමාර දළුපොත මහතා වෙතින් දැනුම්වත් කළා..

මෙම 29 දා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා වෝටර්ස් එජ් පරිශ්‍රයේ පැවැත්වුණේ නොමිලේ…ඒ ප්ලස් නාලිකාවේ ප්‍රධානි අසේල ගාල්ලගේ මහතාගේ ආරාධනයකට අනුව රන්වල පදනම මෙය සංවිධානය කළා.. ප්‍රවේශ පත්‍ර නොමිලේ.

රන්වල පදනම පසුගිය අප්‍රේල් 5 වනදා 4.0 ⁣ෆෝ සීරෝ ” තාල සංචාරය ගැන ද කීවොත්…?

අන්තර්ජාතික සම්භාවනාවට පාත්‍ර වූ විශිෂ්ට තාල වාද්‍ය ශිල්පී රඛිත වික්‍රමරත්න කලාකරුවාගේ මූලිකත්වයෙන් ඔහුගේ ප්‍රසංගයක් එකක් වෝටර්ස් එජ් හි තුනපහ පරිශ්‍රයේ පැවැත්වුණා…එහිදී රන්වල බලකායේ ගීත වගේම විවිධ තාල භාණ්ඩ අනුසාරයෙන් ඒකාත්මික වන්නේ කෙසේද යන්න පිළිබඳව එයින් කියැවුණා…එම තාල වාද්‍ය කණ්ඩායම සමඟ රන්වල පදනමද ඊට එකතු වුණා..

පසුගිය අප්‍රේල් 5 වැනිදා සවස 5ට තුනපහ පරිශ්‍රයේදී පැවැත්වුණා..

අලුත් අලුත් සිතුම් පැතුම් සමඟින් රන්වල දූ පුතුන් ඉදිරිපත් කරන නවමු ආරයේ වටිනා වැඩ සටහන් සමඟ ඔවුන් හා අත්වැල් බැඳගන්නට වැඩිහිටියන්ටත් බොහොම ආදරයෙන් රන්වල පදනම ආරාධනය කරනවා..

අමල් යශෝමන් ජයසිංහ

සමහරු ද්වේශසහගත ප්‍රකාශත් කරලා තිබුණා

ඉලංගෝ රාම්ගේ ‘කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන ‘නෙලුම් කුලුන’ දැන් දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වෙනවා. රට වැටුනත් කුළුණ කෙලින් යනුවෙන් තේමා පාඨය රැගත් මෙය බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුනේ දේශපාලනික කතා පුවතක් ලෙස සිතාය.නමුත් මෙහි ගැබ් වී ඇති අරුත වෙනස් යැයි සිතෙන්නේ ඒ චිත්‍රපටිය නරඹන පිරිසට පමණයි. වලව් පැලැන්තියට අයත් පියෙකුගේ මරණයත් සමඟ සිදුවී ඇති ශාරිරික ස්වභාවික විපර්යාසයක් හේතුකොට ගෙන මේ ප්‍රස්තුතය නිර්මාණය වී තිබෙනවා. මෙවර අප හා පිළිසදරට එක්වන්නේ එහි රංගනයෙන් දායක වන ප්‍රවීණ සම්මානීය රංගන ශිල්පීනී සුලෝචනා වීරසිංහ.

සුලෝචනා, ඉතින් කොහොමද ජීවීතේ ? මේ දිනවල මොකද කරන්නේ?

හොදින් ඉන්නවා.රගපෑම් කටයුතු සම්බන්ධයෙන් ගත්විට වේදීකා නාට්‍ය 3කට සම්බන්ධ වෙලා ඉන්නවා. 2024 වසරේදී රාජ්‍ය නාට්‍ය උලෙළේ විශිෂ්ටතම නාට්‍ය ඇතුළුව සම්මාන 8 ක් දිනාගත් චාලක රණසූරියගේ “සඳුදා වැටෙන්නේ සිකුරාදාට ” නම් වේදීකා නාට්‍ය සමඟ රටවටා යනවා. 2016 දී රාජ්‍ය නාට්‍ය උලෙළේ විශිෂ්ටතම නාට්‍යය ඇතුළු සම්මාන 10ක් ලැබූ චාමික හත්ලහවත්තගේ ” රජා මං වහලා ” නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. කංචුකා ධර්මසිරිගේ “තට්ට ගායිකාවට ” සම්බන්ධ වෙලා වැඩ කරනවා. තව වේදිකා නාට්‍ය 2 ක පුහුණු වීම් වල නිරතව ඉන්නවා. ඒවා තවම මුල් අදියරේ පිටපත්

කියවීමේ ඉන්නේ. මේ දිනවල මම ධනංජය කරුණාරත්නගේ “සිහින රඟහල” නම් නාට්‍ය පොකුරේ “චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක් ” කියන කෙටි නාට්‍යය සදහා රංගනයෙන් සම්බන්ධ වෙනවා. මේ දවස්වල මං රඟපෑ “නෙලුම් කුලුන” චිත්‍රපටිය තිරගත වෙනවා.

නෙලුම් කුලුන “ඩාර්ක් කොමඩි” ගණයේ චිත්‍රපටියක්. එවැනි සිනමා පටයකට සම්බන්ධ වෙන්න හිතුනේ ඇයි ?

ඉලංගෝ රාම්ගේ මේ පිටපත වෙනස්ම විදිහේ පිටපතක් කියලා මට දැනුණා. මේක කියවද්දී මුලින්ම මට තේරුණා මේකේ Out Put එක ඉතාම හොඳ එකක් වෙයි කියලා. මෙහි නළුවරණය දැනගත්තට පස්සේ මට මේකට සම්බන්ධ විය යුතුමයි කියලා සිතුණා.

මෙහි ඔබේ චරිතය ග්‍රහණය කරගත්තේ කොහොමද ?

“නෙලුම් කුලුන” චිත්‍රපටයේ බාල පුතාගේ බිරිඳගේ චරිතය තමයි නිරූපණය කළේ.. බාල පුතා මත්පැන් ලෝලියෙක්.. පියාගේ මරණය පිළිබඳ පණිවිඩය එන විටත් ඔහු සිටින්නේ උදෑසන බාර් එකක් අසල පෝලිමක.. චිත්‍රපටය පුරාම බොහෝ තැන්වල ඔහු මත්පැන් පානය කොට සිටි. ඔහුගේ හැසිරීම් සහ ප්‍රකාශ නිසා උද්ගතවන අලුත් තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට අනෙකුත් සියලුම දෙනාට සිදු වෙනවා.ඔහු හා ගොඩනැඟී ඇති සබඳතාවය අනුව හා මා මාගේ චරිතයේ ස්වභාවය ලෙස වටහාගෙන තිබූ කාරණා මත ඒ ඒ තැනට උචිතව සියුම්ව භාව ප්‍රකාශනය කරන්නේ කෙසේද යන්න මා සිතුවා. ඊට අමතරව තරුණ බිරිඳක් තමන්ගේ ස්වාමීපුරුෂයාව මාමණ්ඩිට සාපේක්ෂව කියවනවා. මේ චිත්‍රපටියේ තමන් අපේක්ෂා කරන අඹුසැමි ජීවිතයේ තෘප්තිය, ඒ වගේම අතෘප්තිකර තැන් කොහොමද සමහර දෙබස්වලින් සහ මුහුණේ ඉරියව් වලින් එළියට දාන්නේ කියන තැන් පිටපතේ සමහ‍ර දර්ශන වලින් ගොඩනගලා තිබුනා. මං කොහොමද ඒක සියුම් විදිහට අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වන ආකාරයට, නිර්මාණවලට අවැසි වෙන විදිහට ඉස්මතු කරන්නේ යන අභියෝගය මට තිබුණා.

මෙම සිනමාපටයෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

පසුගිය දවස්වල සිනමා පටයේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ අනුව අපි සිනමා ශාලා කිහිපයකට ගියා. එහිදී අපිට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. සමහර අය චිත්‍රපටිය දෙවන වර නරඹන්න ආපු අය, තෙවන වර නරඹන්න ආපු අය පවුල පිටින්ම එක්කරගෙන ආපු අවස්ථා තිබුනා.ඉතින් ඒ පිළිබඳ ඉතාමත් සතුටුයි.

මේ චිත්‍රපටිය ගැන ගොඩාක් දෙනා අතර රාවයක් ගිහින් තිබුණා.

මේ චිත්‍රපටිය ඉන්දියාවේ දමිළ චිත්‍රපටියක Remake  එකක් ඉලංගෝ රාම් කරලා තියෙන්නේ කියලා. සමහර අය ඇත්තටම නොදැනුම්වත්ව කතා කරලා තිබුණේ. සමහර අය දන්නේ නෑ “Perusu”  නමින් කරපු දමිල චිත්‍රපටියෙත් අධ්‍යක්ෂකවරයා ඉලංගෝ රාම් බව. ඔහුගේ Original  චිත්‍රපටිය තමයි සිංහල මාධ්‍යයෙන් කල ” නෙලුම් කුලුන ” චිත්‍රපටිය. දමිළ මාධ්‍යයෙන් ඉන්දියාවේ කරපු චිත්‍රපටිය තමයි “Perusu” . ඒක අධ්‍යක්ෂණය කළේ ඉලංගෝ රාම්. දැනට මෙය හින්දි වලින් Remake  කරන්න කටයුතු ලෑස්තියි. ස්පාඤ්ඤ, ඉතාලි සහ ඇමරිකාව වැනි රටවල් මේ චිත්‍රපටිය Remake  කරන්න ලෑස්තියි. පළමුවතාවට තමයි ලංකාවේ චිත්‍රපටියක් විදේශයන්හි ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒක සතුටට කාරණාවක්.

“නෙලුම් කුලුන” නැරඹු අයගෙන් ඉහළ ඇගයීමක් වගේම සමාජ මාධ්‍යවලින් කොටස් පමණක් නරඹා විවේචනය කරන ඇතැම් පිරිස් සිටිනවා.ඔබේ අදහස දැනගන්න කැමතියි ?

චිත්‍රපටියක් සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිබෙන විචාරකයින් පමණක් නෙවෙයි වර්තමානයේ සමාජ මධ්‍ය හරහා පොදු ප්‍රේක්ෂකයාටත් පුළුවන් වෙලා තියෙනවා තමන්ගේ අදහස්, උදහස් කලා නිර්මාණ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න. චිත්‍රපටි වලට අදාළව පමණක් නෙමෙයි සමාජයේ සිද්ධවෙන ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් සිය අදහස් පළ කිරීම අපි වර්තමානයේ සමාජ මාධ්‍ය තුළින් සුලභව දකිනවා. පසුගිය දිනවල අපගේ නෙලුම් කුලුන චිත්‍රපටියේ ඇතැම් කොටස් පමණක් නරඹා ඇතැමුන් මෙය චිත්‍රපටියක්දවත් නොදැන විවිධ අදහස් පළ කර තිබුණා. සමහර තැනක ඊට රංගනයෙන් දායක වූ අපට පවා ද්වේශ සහගත ප්‍රකාශ කරලා තිබුණා. නමුත් චිත්‍රපටය නරඹපු කිසිවෙකුත් එය අයහපත් නිර්මාණයක් ලෙස කියනවා මා දුටුවේ නැහැ. බොහෝ දෙනා දෙතුන්වර චිත්‍රපටිය නරඹා තිබීම විශේෂත්වයක්. සමහර චිත්‍රපට ශාලාවල වසර දහයකට පසුව 9.30 දර්ශන වාරයක් සංවිධානය කර තිබුණා. ඒ වගේම 11.30 ට දර්ශන වාර සංවිධානය කරපු සිනමා ශාලා තිබුණා. බොහෝ අවස්ථාවල බොහොමයක් ප්‍රේක්ෂකයන්ට පළමුවර තමන්ගේ අසුන වෙන් කර ගැනීමට නොහැකි වූ අවස්ථා තියෙනවා. එක් දිනක දර්ශන වාර 83 ක් හවුස්ෆුල් වී තිබුණා. කර්මාන්තයක් විදිහට ඉතාමත් සතුටු විය හැකි මොහොතක් මේය.

ටෙලිනාට්‍යවල නිතර දකින්න නැත්තේ ඇයි ?

ටෙලි නිර්මාණවල මා නිතර දකින්නට නොලැබෙන්නේ මා ඒවාට නොයන නිසා නෙමෙයි මට ටෙලි නිර්මාණ ඉතාම අඩුවෙන් ලැබෙන නිසා. ලැබුණත් යම් යම් ගැටලු සහගත තත්ත්වයන් නිසා ඒවාට නොයන්නට සිද්ධ වීමයි. එසේ මා හට ටෙලි නිර්මාණ අඩුවෙන් ලැබෙන්නේ ඇයි කියන දෙයට මේ වන විට මා පැමිණ ඇති නිගමනය නම් මාගේ ගෙවීම් කේවල් කිරීමට මගේ ඇති අකැමැත්ත ප්‍රධාන සාධකයක්. ගෙවීම් ගැන ප්‍රශ්න නොකරන, අඩුමුදලට රඟපෑමේ නියැළෙන බොහොමයක් අය ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න විට මම වැනි රංගන ශිල්පීන් ට කොහොමත් වැඩ අඩුයි.. අනෙක් කාරණය ටෙලි නිර්මාණකරුවන් සිතනවා මා සිනමාවට හා වේදිකාවට පමණක් ඇලුම් කරන කෙනෙක් කියලා. මොකද කීපදෙනෙක් මඟින් විමසලා තියෙනවා ඔයා දීර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නෑ නේද කියලා. ඇත්තටම මම එහෙම දීර්ඝ ටෙලි නාට්‍ය කීපයකට සම්බන්ධ වෙලාත් තියෙනවා. කොහොම නමුත් ටෙලි නිර්මාණ වලට ලැබෙන ආරාධනා අඩුයි..

මේ ක්ෂේත්‍රයට ඔබ අවතීර්ණ වුණේ කොහොමද ?

මම කැලණිය සරසවියේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ අධ්‍යයන කටයුතු කරමින් ඉන්න කාලේ තමයි මට රංගනයට අවතීර්ණ වෙන්න මුලින්ම අඩිතාලම වැටුණේ. මගේ නේවාසිකාගාරයේ, එකම Room  එකේ සිටි මිතුරියක් වන ලක්ෂි චන්දිමා ඇගේ නාට්‍ය හා රංග කලා විෂයට කළ යුතු ප්‍රායෝගික පරීක්‍ෂණයක් වෙනුවෙන් කළ කෙටි නාට්‍යයකට හදිසියේ මට කතා කරනවා රඟපාන්න ඇගේ නිළිය එයින් ඉවත්වීම නිසා. නමුත් මම මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා මට රඟපෑමට හැකියාවක් නොමැති බව පවසමින්. කොහොම හරි ඇගේ “පෙම්වතා නැතිවෙලා” කියන කෙටි නාට්‍ය ඇය මාව සම්බන්ධ කරගන්නවා. 2005 අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලට සමගාමීව පැවැති අන්තර් විශ්වවිද්‍යාලයීය කෙටි නාට්‍ය තරගාවලියේදී හොඳම සහාය නිළියට හිමි සම්මාන සහතිකය මට මගේ පළමු රංගනයට ලැබෙනවා. 2005 වසරේම තමයි මම සෝමලතා සුභසිංහ මහත්මියගේ කෝට්ටේ ළමා හා යොවුන් රඟහල පදනමට සම්බන්ධ වෙන්නේ නාට්‍ය වැඩමුළුවකට. එතුමිය තමයි මගේ රංගනයේ මුල් ගුරු. “විකෘති” ඇතුළු ඇයගේ සියලුම ළමා නාට්‍යවලට මා රංගනයෙන් සම්බන්ධ වුණා. පසුව කෞශල්‍යා ප්‍රනාන්දුගෙන් මම රංගනය ඉගෙන ගන්නවා. කෞශි අක්කගෙ  Work Shop එකේදි තමයි මට ප්‍රසන්න මහගමගේ මුණ ගැහෙන්නේ. ඔහුව අදටත් මගේ Acting Coach විදියට මම හඳුන්වන්න කැමතියි. කෞෂි අක්කාගේ නිෂ්පාදනයෙන්  Work Shop එක අවසානයේ “ග්ලැඩියේටර් ප්‍රේමය” කියලා Drama එකක් කරනවා. එය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසන්න මහගමගේ හා නාමල් ජයසිංහයි. රාජ්‍ය හා යෞවන සම්මාන උළෙලවල මෙම නාට්‍ය හොඳම නාට්‍ය ඇතුළු සම්මාන රැසක් දිනා ගන්නවා. මගේ රංගනය වෙනුවෙනුත් රාජ්‍ය නාට්‍ය උළෙලදි හොඳම නිළිය ලෙස මා නිර්දේශ වෙනව. කැමරාවක් ඉදිරියේ මගේ මුල්ම රංගනය 2005 වසරේ මගේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මට Senior  ජීවන්ති මැණික් අක්කා කරපු Short Film  එකේ කළ රංගනයයි.

නිළියක් වීමේ සිහිනයක් පුංචී කාලේ ඉදන්ම තිබුණාද ?

රංගන ශිල්පිනියක් වීමේ ආශාවක් මට කුඩා කාලයේ මගේ හිතේ තිබුණේ නෑ. නමුත් මගේ තාත්තා වගේම අම්මත් කලා රසකාමීන්. ගීත රසවිඳීන්න, ගීත අහන්න ගීත ගායනා කරන්න කැමැති අය.මගේ අම්මටත් ගායන හැකියාවක් තියෙනව. තාත්තත් පාසලේ කවි ගායනා තරග වලට සම්බන්ධව හිටපු කෙනෙක්. මගේ පුංචිත් ඒ කාලේ හරියට නන්දා මාලනී මහත්මිය වැනි අයගේ ගීත කැසට් පට අහනවා. මම ඒ කාලේ ඉඳන්ම එතුමියගේ ගීතවලට ආසයි. මගේ තාත්තා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කළේ. වරක් සමස්ත ලංකා රාජ්‍ය සේවක නාට්‍ය තරගාවලියේදී මගේ තාත්තා හොඳම නළුවාට හිමි සම්මානය ලබනවා ඔවුන් කළ නාට්‍යයට. තාත්තා අපිව නාට්‍ය චිත්‍රපටි බලන්න එක්ක යනවා. තාත්තත් එක්ක ගිහින් මම බලපු පළවෙනි චිත්‍රපටිය “සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා”.. මේ ආභාෂයන් මට රංගන ශිල්පිනියක් වීමට අවිඥානිකව හිතේ අදහසක් රෝපණය කරන්න ඇති. අවුරුදු 14, 15 කාලයේ මගේ සිහිනය වුණේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට..

රංගන ශිල්පනියක් නොවුණානම් ඔබ කිනම් ක්ෂේත්‍රයක් තෝරගනීවිද?

මං හිතන්නේ කෙනෙක්ට විය යුතු දේ කොයි මොහොතේ හරි මොනයම් හෝ හේතුවකින් නිර්මාණය වෙනවා. එය හරියට විශ්වීය දෙයක් වගේ. මං හිතන්නේ අපි එකිනෙකාට වෙනම සැලැස්මක් විශ්වයේ තියෙනවා කියලා. අපේ මේ ජීවිත කාලය හෝ වෙනත් කාලයක අප කළ කී දෑ අනුව ඒ සැලැස්මේ දේවල් එහෙ මෙහෙ වෙනවා කියලා. කෙනෙක් උපතින් යම්කිසි දෙයකට සුවිශේෂී හැකියාවක් අරගෙන එන්න පුළුවන්. නමුත් එය මතුකර ගැනීමට තමන් දක්ෂ විය යුතුයි. ඒවගේම එය උත්සාහයෙන් ප්‍රගුණ කළ යුතුයි. කොහොම උනත් රඟපෑම කියන විෂය මම කිහිප තැනකින් හැදෑරුවා.එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද දවසේදී මා කෙනෙක් කියනවා නම් සාර්ථක රංගන ශිල්පිනියක් කියලා ඒ පසුබිම හැදෙන්නේ. ඔබ අසන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු නිසා මෙසේ කියන්නම්. යම්කිසි කෙනෙක් යම් තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ එයා ඒ තැනට පත් විය යුතුව තිබුණ නිසයි. කොහොම වුණත් මම ජන සන්නිවේදන විෂය උපාධියට හැදෑරූ නිසා අනිවාර්යයෙන්ම මම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක නියැළෙන්න තිබුණ මුල සිටම. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේදී මා ස්වර්ණවාහිනි ආයතනයේ මාස නවයක පුහුණු වැඩසටහන් නිෂ්පාදිකාවක් විදිහට වැඩ කළා. නුග සෙවණ වැඩසටහන් හතක හෝ අටක නිවේදිකාවක් ලෙස කටයුතු කරා. මේ අත්දැකීම් එක්ක මම මුල සිට රංගන ශිල්පිනියක් නොවුනා නම් මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙක්. කොහොම නමුත් උපාධිය රැගෙන වසර අටකට පසුව මම තාත්තාගේ ඉල්ලීමට රජයේ රැකියාවකට අයදුම් කරනවා . ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරී තනතුරට බඳවා ගැනීමට තිබූ විභාගයකට සහ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව 2014 අවුරුද්දේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මම රාජ්‍ය සේවකයෙක් විදියට බැඳෙනවා. වසර නමය හමාරක සේවකාලයෙන් පසු මා දැනට පස් අවුරුදු නිවාඩුවක ඉන්නේ.

ඔබ මුලින්ම රංගනයට අවතීර්ණ වුණේ වේදීකාවෙන්.එදා පාසැල් වේදීකාවේදී රංගනයෙන් දායක වෙලා තියෙනවාද ?

මගේ පියා සමාජශීලී කෙනෙක්. ඔහු ගමේ සණස සමිතිය, සුබ සාධක සමිතිය වැනි සමිතිවල සභාපතිත්වය සහ වෙනත් තනතුරු දරමින් කටයුතු කළා. ගමේ පන්සලේ ද ප්‍රධාන දායකයෙක් විදියට කටයුතු කල නිසා දහම් පාසල මූලික කරගෙන පැවැත්වූ භක්ති ගීත, වෙසක් නාට්‍ය වගේ දේවල්වලට දරුවෝ විදියට එකල මම ද සම්බන්ධ වුණා. මා ප්‍රාථමික අධ්‍යාපනය හතර වසර දක්වා ගමේ පාසලෙන්ද පසුව සාමාන්‍ය පෙළ දක්වා හෙට්ටිමුල්ල බණ්ඩාරනායක ජාතික පාසලෙන් සහ උසස් පෙළ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවෙන් ලබා ගත්තා. පාසලේදී

විවිධ ප්‍රසංග සඳහා කුඩා නාට්‍ය කොටස්වලට සම්බන්ධ වුණා.

A/L  සදහා ඉතිහාසය, සංගීතය සහ සිංහල කියන විෂයන් තමයි මම හැදෑරුවේ. 2001 වසරේදී අප සමස්ත ලංකා ගී නළුව තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගත්තා. මෙවැනි දේවල් හැරෙන්න පාසලේදි මා නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරලා නැහැ.

ලක්ෂිත ප්‍රසාද් වීරසේන අධ්‍යක්ෂණය කළ “පෙටුනියා” කෙටි චිත්‍රපටියෙහි “මල්කී” මුදලට විකිණෙන සරාගී චරිතයක්.එවැනි චරිතයක් ආත්මීකරණය කර ගැනීමේදී ඔබට දැනුනු හැගීම් මොනවාද?

පිටපත් රචකයා සිය පිටපතේ ගොඩනංවා තිබූ චරිතය සහ අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වූ චරිතය සහ පිටපත කියවීමෙන් මා වටහාගත් මල්කී නැමති ජීවත්වීම පිණිස සිය සිරුර විකුණන තරුණියගේ චරිතය සම්මිශ්‍රණයක් ලෙස ගොඩනගන්න මං උත්සාහ කළා. ඇය සිය සිරුරෙන් පහස ලබාගෙන ඇයව ප්‍රශ්න කරන Free Thinking  පිරිමින්ව සහ සමස්ත සමාජයම සෘජුව සහ විවෘතව ප්‍රශ්න කරනවා. පිළිතුරක්,විසදුමක් නැතුව ප්‍රශ්න පමණක් ම තමන්ගේ ජීවිතයට ගෙනෙන මිනිසුන්ට තම විරෝධත්වය ඇය ප්‍රකාශ කරනවා. මල්කීගේ මේ චරිත ස්වභාවයන් රැගත් ඇතුළාන්තයේ හැඟීම් පරිස්සමට එළියට ගේන්න මම උත්සාහ කළා. Youtube තුළ නැරැඹුම් වාර මිලියන පහකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට “පෙටුනියා” කෙටි චිත්‍රපටිය නරඹා තිබෙනවා. එය සතුටට කරුණක්.

මල්කීලා වැනි අයගේ ජීවීතවලට සමාජය හරහා විය යුත්තේ කුමක්ද යන්න ඔබේ අදහස දක්වන්න.

“පෙටුනියා” කෙටි චිත්‍රපටියේ “මල්කී” වැනි තරුණියන් නියෝජනය කරන්නේද අප ජීවත්වන සමාජයේම එක් කොටසක්. ඇය කරන්නේ ලෝකයේ ඉපැරණිතම වෘත්තිය. ලෝකයේ බොහොමයක් රටවල් නීතියෙන් ම මෙම වෘත්තිය කරගෙන යෑමට අවසර දීලා තියෙනවා. ලංකාවේ තවමත් එය නීතිගත නැහැ. කෙසේ නමුත් ඉල්ලුම ඇති නිසා සැපයුම සැපයීමට ඕනෑ තරම් වෘත්තිකයන් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මෙය විශාල සමාජීය ප්‍රශ්නයක් අපට පෙන්නනවා. නමුත් බොහෝ විට එය කතා කරන්නේ මෙම වෘත්තියේ නියැළෙන පිරිස ඉලක්ක කරගෙන පමණයි.”ඇයි ඔයා මේක අත ඇරලා කසාදයක් බඳීන්නැත්තෙ. හොඳ ජීවිතයක් ගතකරන් නැත්තේ” කියන ප්‍රශ්නය මල්කිට යොමු කළාට එයට විසඳුමක් ලබාදීමට සමාජයට නොහැකි වී තිබෙනවා. එසේ ප්‍රශ්න කරන පිරිමින් ම ඔවුන් සොයාගෙන පැමිණෙනවා. මෙය සමාජයීය ප්‍රශ්නයක් විදිහට මතුකර පෙන්වීම නිර්මාණකරුවා විසින් සිදු කර තිබෙනවා.

ඔබ රගපෑ චරිත අතරින් ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානය යොමු වුනේ කුමන චරිතයටද?

වේදිකාවේ නම් “ග්ලැඩියේටර් ප්‍රේමය” කියන වේදිකා නාට්‍යයෙන් තමයි ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් බොහොමයක් මගේ රංගන ධාරිතාව අඳුනා ගත්තේ. එම නාට්‍ය නරඹපු ප්‍රේක්ෂකයෝ අදටත් ඒ ගැන කතා කරනවා.එය 2010 වේදිකාගත වූවක්. මේ දිනවල “සඳුදා වැටෙන්නේ සිකුරාදට” වේදිකා නාට්‍යයේ චරිතයට ප්‍රේක්ෂකයින් ගේ පැසසුම ලැබෙනවා. ටෙලි නාට්‍යවල නම් 2010 කළ “සිහින පුරය” ටෙලි නාට්‍යයේ පින්කිගේ චරිතයට සහ පසුකාලීනව තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ “ලොක්කී” නමින් කළ චරිතයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. එම චරිතට මා දෙවරක් හොඳම සහාය නිළියට හිමි සම්මානයත් ලබා ගත්තා. සිනමාවේ නම් මා කළ සියලුම චරිත කතාබහට ලක්වනවා. “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටියේ “චිත්‍රාංගනී විජේරවීර ” ලෙස කළ රංගනයට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. මේ දිනවල තිරගත වන “නෙලුම් කුලුන ” චිත්‍රපටියටත් යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ජීවීතේ ආපසු හැරී බලද්දී අද දවස පිළිබඳ ඔබ තෘප්තිමත් ද ?

ඔව් අනිවාර්යයෙන්ම.. මම මගේ ජීවිතය දිහා හැරිලා බලද්දි තෘප්තිමත් විය හැකි ජීවිතයක් මං ගත කරලා තියෙනවා කියල මට සතුටු වෙන්න පුළුවන්. ජීවිතයේ යම් යම් මොහොතවල් වල පෞද්ගලික ජීවිතයේ හෝ වේවා වෘත්තීය ජීවිතයේ වේවා මට මුහුණ දීමට සිදු වූ කලකිරීම් සහගත තත්ත්වයන් හෝ හිත් රිදෙන තත්ත්වයන් පිළිබඳ ව නැවත නැවත සිතමින් ජීවිතය කළකිරවගන්නේ නැතුව ඉස්සරහට යන්න කැමති චරිතයක් මං. අපි අත්දැකීම් තුළින් තමයි ජීවිතය ඉගෙන ගන්නේ. ඒවා අපිව පෝෂණය කරනවා. ජීවිතය අත්හරින්නට පවා තරම් සිතෙන තදබල මානසික කම්පනයන් සම්බන්ධතාවයන් තුළ අත්විඳ තිබුණත් ඒවාම පන්නරය කර ගනිමින් ජීවිතයට ශක්තිමත්ම මුහුණ දෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. මගේ ශක්තිය ගැන, ආත්ම විශ්වාසය ගැන මම සතුටුයි. ධනාත්මකව දේවල් දෙස බලමින්, අවබෝධයෙන් යා යුතු ගමනක් ලෙසට මා මේ ජීවිතය තේරුම් ගනිමින් ඉන්නවා. සතුට කිසි ලෙසකින් පිටතින් සෙවිය හැකි දෙයක් නොව තමන්ගේ ඇතුළාන්තයෙන්ම ගොඩනගා ගත යුතු දෙයක් බව අවබෝධ වෙමින් පසු කරන ජීවිතයක් තමයි දැන් මට තියෙන්නේ.

ඉදිරීයේදී දියණිය කලාවට යොමු කරන්න කැමැත්තක් තියෙනවාද?

ඇය කැමති නම් පමණක් රංගනය සඳහා ඇයව යොමු කරනවා. ඇයත් හැදෑරීමක් ඇතුළේ ගමනක් යනවා නම් තමයි මමත් කැමැති. මෙතෙක් ඇය රංගනයට කැමැතියි කියලා නැහැ. නමුත් ඇය වේදිකා නාට්‍ය නිර්මාණ නරඹන්න ඉතාමත් කැමතියි. ඇය අවුරුදු එකහමාරේදී පමණ සිටයි මගෙත් එක්ක නාට්‍ය පුහුණුවීම් වලට යන්නේ. ඒ නිසා ඇයට ඒ ගැන කැමැත්තක් ඇති. මා කරන නාට්‍යවල ඇතැම්විට බොහෝ දෙබස් ඇයට මතකයි. මගේ සමහර නාට්‍ය දර්ශන ඇය විසි වතාවක් පමණ නරඹා තිබෙනවා. මේ මෑත දවසක “නරි බෑනා” නාට්‍යය පෙන්නන්න රැගෙන යන ලෙස ඇය කළ ඉල්ලීමට එම නාට්‍යය පෙන්වීමට ලයනල් වෙන්ඩ්ට් රඟහලට මා ගියා. සමහර විට ඇය වේදිකා නාට්‍ය රංගනයට පිවිසේවි. මගේ මිතුරා තිසර ඉඹුලානගේ “මෝඩ තරීදූ” චිත්‍රපටියේ ඇය ඇගේ ප්‍රථම රංගනය සිදුකළා. ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට ගොස් වෙනත් රැකියාවක නියැළෙනවා නම් මම කැමැතියි. කෙසේ වෙතත් ඇගේ කැමැත්තට මම සහාය දක්වනවා.

ඉදිරි අනාගත වැඩකටයුතු මොනවාද ?

මගේ දරුවාට හොඳට උගන්වා යහපත් පුරවැසියෙක් කිරීම වෙනුවෙන් කැපවෙන එක තමයි මගේ ප්‍රධාන අරමුණ. රංගන ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තහම වේදිකා නාට්‍ය නිර්මාණ කිහිපයකින් ඉදිරියේදී මාව දැක ගන්නට ලැබේ වි.තවත් සිනමාපට දෙකක් තිරගත වීමට නියමිතයි.ටෙලි නාට්‍ය කිහිපයකුත් විකාශය වීමට නියමිතයි.

 

වසුන්දරා කුමාරී ධර්මරත්න

Copied: සමහරු ද්වේශසහගත ප්‍රකාශත් කරලා තිබුණා – සරසවිය

A/L ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව ආරම්භ වේ

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ආරම්භ වී තිබෙනවා.

වතිකානු වේලාවෙන් උදෑසන 10.00 ට (මෙරට වේලාවෙන් පස්වරු 1.30ට) පමණ අවසන් කටයුතු ආරම්භ වූ අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවේ සිට ශාන්ත පීතර චතුරශ්‍රය වෙත රැගෙන යනු ලැබුවා.

කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති ජියෝවානි බැටිස්ටා රේ කාදිනල්තුමා විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය මෙහෙයවනු ලබනවා.

එරට වේලාවෙන් උදෑසන සිට අගරදගුරුවරුන්, බිෂොප්වරුන්, කතෝලික පූජකවරු ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්වීමට පටන් ගත් අතර, ඉන් පසුව, විවිධ රටවලින් පැමිණි රාජ්‍ය නායකයින් හා ගෞරවනීය අමුත්තන් පැමිණීමත්, පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමත්, ඉන්පසු අසුන් ගැනීමත් සිදුවුනා.

චාල්ස් රජු වෙනුවෙන් විලියම් කුමරු අවමංගල්‍යයට සහභාගී වන අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, ස්වීඩනයේ කාල් ගුස්ටාෆ් රජු සහ සිල්වියා රැජින, නෝර්වේහි ඔටුන්න හිමි හාකොන් කුමරු සහ ඔටුන්න හිමි මෙට්-මාරිට් කුමරිය, එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර්, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හා අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් ආදී ප්‍රභූවරුන් ඇතුළු 200,000 ක පමණ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වනවා.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින්ම නියම කරන ලද උපදෙස් වලට අනුකූලව, මෙම අවමංගල්‍ය උත්සවය පෙර පාප්වරුන්ගේ අවමංගල්‍ය උත්සවවලට වඩා සරලව සිදු කරන බවයි සඳහන් වන්නේ.

පැය භාගයක් හෝ විනාඩි 45 කාලයකින්  අවමංගල්‍ය සභාව අවසන් වන අතර පාප් වහන්සේගේ දේහය රැගත් මන්දගාමී පෙරහැරක් උන්වහන්සේගේ අවසන් විවේක ස්ථානය වන සැන්ටා මාරියා මැගියෝර් බැසිලිකාව වෙත ගමන් කරනු ඇති.

news images

news images

news images

කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි – පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය

ජම්මු-කාශ්මීරයේ පහල්ගම් හිදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් පවසනවා.

ජාත්‍යන්තරය විසින් පවත්වනු ලබන ඕනෑම පරීක්ෂණයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට සූදානම් යැයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇති බව ජ‍‍ාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

කිසිදු සාක්ෂියක් නොමැතිව, කිසිදු විමර්ශනයක් නොමැතිව ඉන්දියාව විසින් පාකිස්තානයට දඬුවම් කිරීමට පියවර ගනිමින් සිටින බවයි ඔහු පවසා සිටින්නේ.

මෙය යුද්ධයක් ලෙස ඇවිලෙනවාට තමන් කැමති නොවන බවත්, එසේ වීමෙන් මෙම කලාපයටම ව්‍යසනකාරී තත්ත්වයක් උදාවනු ඇති බවයි පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ.

බංග්ලාදේශයේදී කප්පම් ඉල්ලා පැහැරගත් ශ්‍රී ලාංකිකයන් තිදෙනා බේරාගැනේ

ව්‍යාපාරික කටයුත්තක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් සිටියදී, එරට කප්පම් කල්ලියක් විසින් පැහැරගැනීමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු බංග්ලාදේශ පොලීසිය විසින් බේරාගෙන ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ඩකා අගනුවරට කිලෝමීටර 200කටත් වඩා දුරකින් පිහිටි බාගර්හාට් නම් පළාතේ ව්‍යාපාරිකයෙකුගේ ආරාධනයක් මත මෙම ශ්‍රී ලාංකිකයන් තිදෙනා පසුගිය අඟහරුවාදා (22) බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අදාළ කප්පම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ව්‍යාපාරිකයන් සමග ව්‍යාපාරික සුහඳතාවක් ගොඩ නගාගෙන ඇති බවද, ඔවුන්ගේ ආරධනයක් මත මෙම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් බංග්ලාදේශයට ගෙන්වාගෙන මෙම පැහැරගැනීම සිදු කර තිබෙන බවද අනාවරණය වී තිබෙනවා.

බාගර්හාට් පොලීසිය ක්ෂණික මෙහෙයුමක් දියත්කර කප්පම් සඳහා රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනාම බේරාගෙන ඇති බවත්, පැහැරගැනීමට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

සිරි දළදා වන්දනාව අද 09 වන දිනටත් පැවැත්වෙයි

‘සිරි දළදා වන්දනාව’ අද (26) 09 වැනි දිනටත් පැවැත්වෙනවා.

ඒ අනුව අදත් පෙරවරු 11.00ට ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශාල සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින්, නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඉල්ලීමක් කර තිබුණා.

එසේම, පෙර සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ හෙට දිනයෙන් අවසන් කිරීමට තීරණය කළ බවයි ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසා සිටියේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත්  කර තිබෙනවා.

ඒ අනුව, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා, සෑම අයෙකුටම ආයතනය විසින් නිවාඩු ලබා දිය යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එසේ ලබාදෙන නිවාඩු කාල සීමාව, වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තියන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් බාහිර විය යුතු බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව, ඡන්දය ලබාදීමට යැම සඳහා පැය දෙකකට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත නිවාඩු ලබාදිය යුතු බවයි සඳහන් වෙන්නේ.

සෑම සේවකයෙකුටම ඡන්දය සඳහා අදාළ නිවාඩු කාලසීමාව, එම සේවකයාගේ කාර්යාලය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත නිගමනය කළ යුතුයි.

ඒ අනුව,

* කිලෝමිටර් 40 හෝ ඊට අඩු – දින භාගයක් * කිලෝමීටර් 40 -100 අතර – එක් දිනයක්* කිලෝමීටර් 100 – 150ත් අතර – දින 1 1/2ක් * කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක්

ලෙස නිවාඩු ලබා දිය යුතු බවයි වැඩිදුරටත් දක්වා ඇත්තේ‍.