අල්ලස් ලබාගත් පොලිස් නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් 10,000ක මුදල් අල්ලසක් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරම්මල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කර නීති විරෝධී මත්පැන් ‍තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර නොගැනීමට නම් අල්ලස් මුදල් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

අදාල නිවසේ හිමිකරු මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඊයේ (16) සවස නාරම්මල ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අන්තරේ විරෝධතා පාගමන සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබෙන විරෝධතා පා ගමනකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, මැදිරිගිරියේ ඉස්සරධම්ම හිමි, තිස්සපුර සිරි සුමේධ හිමි, අබ්දුල්ලා මොහොමඩ් රිෆාත්, මධුසංඛ චන්ද්‍රසිරි, මදුරංග ජයසිංහ, නිසල දමිත් සහ ශලින්ද මිෂාන් සමරසිංහ යන වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අද දින කුරුඳුවත්ත විහාරමහාදේවී උද්‍යානය අසලින් විරෝධතාවය ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා පා ගමනින් ගමන් කිරීමට හෝ සිනේසිටි සිනමා ශාලාව අසලින් විරෝධතාවය ආරම්භ කර කොටුව දුම්රිය පොළ දක්වා පාගමනින් ගමන් කිරීමට අදහස් කර ඇති බැවින් හටගන්නා පීඩාකාරී තත්ත්වය මඟ හැරීම සඳහා මෙම අධිකරණ බල සීමාවට අයත් කුලරත්න මාවත (මරදාන පාර), ඔරාඹිපාෂා මාවත, සංඝරාජ මාවත, ඩීන්ස් පාර (පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත) ඩාලි පාර (ටී.බී ජයා මාවත) හා රෝහල් චතුරස්‍ර තුළ හා පිටත මාර්ගවල පදික වේදිකා විරෝධතා සඳහා භාවිත කළ නොහැකි බවටද අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

Litro Gas ‌කොටස් විකිණීම සඳහා රජය අභිලාෂ කැඳවයි

Litro Gas Lanka Limited සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd  යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට රජය තීරණය කර තිබෙන බව රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත  කිරීමේ ඒකකය පවසනවා.

Litro Gas Lanka Limited හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd හි 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතින බවයි සඳහන් වන්නේ.

Litro Gas Lanka Limited ශ්‍රී ලංකාව තුළ LPG ආනයනය, පිරවීම, බෙදාහැරීම සහ විකිණීමේ නිරත වන අතර 85% ක වෙළඳ පොළකට ඔවුන් හිමිකම් කියන බව වැඩිදුරටත් සඳහන්.

වඳ වී යන කැස්බෑ වර්ගයක් වන බටු කැස්බෑ බිත්තර ළඟ තබා ගත් අයෙකුට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී රුපියල් 60000ක දඩයක් නියම කෙරේ

හික්කඩුව වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත පසුගිය 16 වන දින අළුයම 1.30ට පමණ දඩල්ල මුහුදු තීරයේදී කැස්බෑවකු දමා තිබූ බිත්තර ලබාගත් අයෙකු බිත්තර 120ක් සමග අත්අඩංගුවට ගැනීමට හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට හැකි විය.

මේ දිනවල විදෙස් සංචාරකයන් බහුල ලෙස පැමිණෙන අතර එම නිසා කැස්බෑ බිත්තරවලටද වැඩි ඉල්ලුමක් ඇත.විශේෂයෙන් චීන ජාතිකයන් අතර මෙම කැස්බෑ බිත්තර යොදා සකස් කළ ආහාර වලට දැඩි කැමැත්තක් දක්වයි .

සාමාන්‍ය කැස්බෑ බිත්තරයක් රුපියල් පනහක් හැටත් අතර මිලකට අලෙවි වන අතර එයින් සකස් කල ආහාර‍යක් රුපියල් 2500ක පමණ මුදලකට අලෙවි කෙරේ.බටු කැස්බෑවා වනජීවී සහ වනරස් සංරක්ෂණ පනත යටතේ ආරක්ෂිත සත්වයකු ලෙස නම් කර ඇත.

කැස්බෑ බිත්තර සමග අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිනී විධාන ගමගේ මහත්මිය විසින් සැකකරු;රුපියල් 60000ක දඩයකට යටත් කළ අතර අත්අඩංගුවට ගත් කැස්බෑ බිත්තර දොඩන් දූවේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවට අයත් කැස්බෑ රක්ෂණ මධ්‍යස්ථානය වෙත ලබාදීම සිදුකරන ලදී.මෙසේ කැස්බෑ බිත්තර ළඟ තබා ගැනීමට වග උත්තරකරු වූයේ දඩල්ල ජයන්ති මාවතේ පදිංචි දෙවරාහන්නදි වසන්ත ද සිල්වා නමැත්තෙකුටය.

වන ජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ මෙම නඩුව පවරා තිබුනි.

හික්කඩුව වනජීවි කාරයාලයේ උද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම මත දොඩන්දුව අඩවි වන ස්ථාන භාර නිලධාරී එල්‍.ටි.ධම්මික එල්.ඩි.මෙන්ඩිස්.එස්.ජි.කසුන් සෝමසිරි ආර්.ටි.බෝපගේ ජගත් නානායක්කාර සමන් ගුරුසිංහ යන නිලධාරීන් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.

අම්බලන්ගොඩ අනුරාධ ප්‍රියදර්ශන.

කන්දකාඩු සිදුවීම ගැන සෙවීමට පංච පුද්ගල කමිටුවක් පත්කෙරේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පළායාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ හා නිර්දේශය ඇතුළත් වාර්තාව සති 03ක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා විසින් පංච පුද්ගල කමිටුවට උපදෙස් ලබාදී ඇත්තේ.

එහි සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස එම්.එස්.පී. සූරියප්පෙරුම, ආර්.එස්. හපුගස්වත්ත, පියුමන්ති පීරීස් හා ඩී. එම්. සමන් දිසානායක පත්කර තිබෙනවා.

නායයාමක් නිසා අවහිර වී තිබුනු බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය යළි විවෘත කෙරේ

නායයාමක් නිසා සතියක පමණ කාලයක් අවහිර වී තිබුනු බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය ගමනාගමන කටයුතු සඳහා යළි විවෘත කර තිබෙනවා.

අද (16) දහවල් එම මාර්ගය විවෘත කළ අතර, පිළිසකර කිරීමෙන් පසු  එම ස්ථානයෙන් ගමන් කිරීමට සුදුසු තත්ත්වයක තිබේදැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් විසින් පරීක්ෂා කළ බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන පවසා සිටියේ.

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය 7 කණුව ප්‍රදේශයේ ඉකුත් 9 වනදා සිදුවූ නායයාමක් නිසා දින 7 ක පමණ කාලයක් මාර්ගය අවහිර වී ගමනාගමනය ඇණ හිට තිබුණා.

සෞඛ්‍ය ගැටලු ගැන විසඳුම් සෙවීමට වැඩබලන මුදල් ඇමති හා සෞඛ්‍ය ඇමති අතර හමුවක්

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර හමුවක් අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් – මධ්‍යම පරිසර අධිකාරිය

රට හරහා ගමන් කරන බාහිර වායු ධාරා හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

විශේෂයෙන්ම කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවය අඩුවී ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කරන්නේ.

දිවයින හරහා ගලායන සුළං ධාරා සමග පැමිණෙන නොයෙකුත් ආකාරයේ වායු දුෂණකාරක වාතයේ ගුණාත්මකභාවය අඩුවීමට බලපා ඇති බව ඔහු පවසා සිටිනවා.

මෙම තත්ත්වය නිසා සෞඛ්‍ය අවදානම අවම බවත්, කෙසේ වුවත් පෙනහළු ආශ්‍රිතව රෝග තත්ත්වයන් ඇති සහ ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් ප්‍රවේශම් විය යුතු බවත්, වායුගෝලයේ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

2024.01.15 දින පැය 0030 සිට 2024.01.16 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

2024.01.15 දින පැය 0030 සිට 2024.01.16 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 475 g
අයිස් 501 g
ගංජා 7 kg 900 g
ගංජා පැල 3605 ක්
මාවා 305 g
මදන මෝදක 137 g
මත්පෙති 126 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 04 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉතිහාසයේ වැඩිම කැරට් මිල තොග අද පෑලියගොඩ

ඉතිහාසයේ වැඩිම කැරට් මිල තොග අද පෑලියගොඩ
කැරට් රු 1800
බෝංචි රු 1000
ලික්ස් රු 450
ගෝවා රු 700
බීට් රු 700
අමු මිරිස් රු 800 අඩු වෙයි
තක්කාලි රු 350 අඩු වෙයි
මාලු මිරිස් රු 700
මෑකරල් රු 600
බන්ඩක්කා රු 400
වැටකොළු රු 400
පතෝල රු 300
දබල රු 400
කරවිල රු 500
වට්ටක්කා රු 150
ලූනු කොල රු 450
රාබු රු 120
අලු කෙසෙල් රු 280
බතල රු 140
දෙල් රු 150
වම්බටු රු 400
දෙහි රු 500 මිල වැඩිවෙයි

ජාතික පාරිභෝගික පෙරමුණ කියයි