පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය පැය 24 තුළ පැමිණිලි 223ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (27) දිනයේ පමණක් පැමිණිලි 223ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3,276ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඉන් පැමිණිලි 3,034ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 21ක් ලැබී ඇති බවද සඳහන්.

ලැබී ඇති පැමිණිලි 3,276න් 2,679ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 597 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

‍අදාළ නිවේදනය පහතින්.

news images

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත් අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ගැටලුවේදී කිසිඳු අඩුපාඩුවක් තමන්ට පෙනෙන්නට නොමැති බවයි අද (28) අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාවලට මුදල් යෙදවිය හැක්කේ විසර්ජන පනත නීතිය ප්‍රකාරව පමණක් බවත්, තැන්පත් ගිණුමකට මුදල් යෙදවිය හැක්කේ ඉඩ ලබාදුනහොත් පමණක් බවට එම පනතේ කොතැනකවත් සඳහන් කර නොමැති බවත්, පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ විසර්ජන පනතකින් ඉඩ ලබා නොදෙන්නේ නම්, මුදල් තැන්පත් ගිණුම්වල යෙදවිය නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර, අල්ලස් කොමිසමේ ඇති ලිපිගොනු වෙනත් පාර්ශවලට පෙන්වීම සම්බන්ධයෙන් තමන් අල්ලස් කොමිසමට විරෝධතාව ප්‍රකාශ කළ බවත්, ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක තමා අල්ලස් කොමිසමට යොමු කළ ලිපියක් සම්බන්ධයෙන් මැතිවරණ රැළියකදී ප්‍රකාශයක් සිදු කළ බවත්, ඒ අනුව අල්ලස් කොමිසමේ ලිපි ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා අරගන්නා බවට පෙනී යන බවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

අද (28) දිනයේ ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ සබරගමුව යන පළාත් සහ හම්බන්තොට, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් සැලකිල්ලෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images

පුත්තලමේදී මත්කුඩු තොගයක් විනාශ කෙරේ

නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක තොගයක් අද (28) විනාශ කිරිම සිදු වුණා.

ඒ අනුව පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පිහිටි INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුනකදී එම මත්කුඩු තොගය විනාශ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ අවස්ථාවේ ඡායාරූප පහතින්.

news images

news images

news images

සිරි දළදා වන්දනාව අවසන් වෙයි

දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව අද (27) පස්වරුවේ සාර්ථකව අවසන් වුණා.

අද දිනයේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා කාලය තුළ සැදැහැවතුන් 76,000ක පිරිසකට සිරි දළදා වන්දනාවට එක්වීමට අවස්ථාව උදාවූ බවයි වාර්තා වෙන්නේ.

වසර 16 කට පසු දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කිරීමේ අවස්ථාව පසුගිය 18 වනදා සිට උදා වූ අතර ගතවූ දින 10 ක කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දළදා වන්දනාව සඳහා එක්ව තිබුණා.

“සිරි දළදා වන්දනාව” අද පස්වරු 5.30ට අවසන් වීමෙන් පසුව මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද අද පස්වරුවේ ආරම්භ කර තිබුණා.

මම Vitz ලක්ෂ 12 ට දෙනවා කියලා කිව්වලු, ඔප්පු කළොත් මම සජබෙට එනවා බැල මෙහෙවර කරන්න – නලින් හේවගේ

තමා ලක්ෂ 12 කට Vitz කාර් දෙන බවට යම් තැනක ප්‍රකාශ කර ඇත්නම් එය ඔප්පු කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට අභියෝග කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසනවා.

ඒ අනුව එලෙස තමා ප්‍රකාශ කර ඇති බවට ඔප්පු කළහොත් තමා ඇමතිකමෙන්, මන්ත්‍රීකමෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් ඉවත්වන බවයි ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එලෙස තමා ඉවත්වී කියන ඕන බැල මෙහෙවරකමක් සිදු කිරීමට සමගි ජන බලවේගයට පැමිණෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දේශබන්දු ගැන විමර්ශන කමිටුවේ සහායට පොලීසියේ සිව් දෙනෙක් පත් කෙරේ

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තුව මඟින් පත්කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සහාය සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙලෙස එම කමිටුවේ සහාය සඳහා අනුයුක්ත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පරීක්ෂණය සඳහා සහායවීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් පත්කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන කටයුතු සදහා පත්කළ කමිටුව පසුගියදා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට දැනුම් දී තිබුණා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

කාශ්මීරයේ වෙඩි තැබීමට සම්බන්ධ 19 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම් හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඇසෑම්, මේඝාලය සහ ත්‍රිපුර යන ප්‍රාන්තවල මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති අතර අත්අඩංගුවට පත් වූවන් අතර අතර මන්ත්‍රීවරයෙකු, මාධ්‍යවේදියෙකු, සිසුන්, නීතිඥයෙකු සහ විශ්‍රාමික ගුරුවරුන් ඇතුළත් බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

දකුණු කාෂ්මීරයේ සිදුවූ එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් රැසකට තුවාල සිදුව තිබූ අතර මෙම ප්‍රහාරය ඉන්දියාව සහ පාකිස්ථානය අතර අර්බුදකාරී වාතාවරණයක් ඇති කිරීමට හේතුවී තිබුණා.

අන්තරේ කැඳවුම්කරු සහ රවී කුමුදේශ් ඇතුළු පිරිසකට මාලිගාකන්ද අධිකරණයෙන් තහනම් නියෝගයක්

බොරැල්ල පොලිස් වසමේ බොරැල්ල කාන්තා කාසල් රෝහල ඉදිරිපිට හෝ ඒ අවට ප්‍රදේශවල අද (27) පෙරවරුවේ පෙලපාලියක් ගමන් කිරීම, රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම, මාර්ගවලට ඇතුල් වී මහා මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට විශේෂිත ගිලන් රථ වලට හා වෙනත් තැනැත්තන්ට මාර්ගයන් භාවිතා කරන තැනැත්තන්ට පීඩාවක් ඇතිවන අන්දම වලක්වාලමින් පිරිසකට අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත්, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු එම්. එන්. එම්. නුස්රි, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම් නදුන් දර්ශිත හේවාපතිරණ සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් හට මෙම ආඥාව නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අද දින විරෝධතා කරුවන් පිරිසක් බොරැල්ල පොලිස් වසමේදී, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමට අදාලව පවත්වනු ලබන තරඟ විභාගයට විරෝධතාවක් පැවැත්වීමට හා එම විභාග මධ්‍යස්ථාන වල ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවට බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුර්ව මෙම තහනම් ආඥාව නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

අද නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනය ක්‍රියාත්මක වෙයි

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී සියලුම නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාදීමට තැපැල් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

නිල ඡන්ද පත්‍රිකා බෙදීම එළැඹෙන 29 වැනි දින අවසන් වන අතර එදින වන විට නිල ඡන්ද පත්‍රිකා නොලැබූ ඡන්ද හිමියන්ට සිය ඡන්ද හිමි නාමලේඛනයේ තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබා ගත හැකි බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.