මින් ඉදිරියට කැබිනට් මාධ්‍ය හමුව ආවරණය කිරීමට දෙන්නේ මාධ්‍ය හැඳුනුම්පත ඇති අයට පමණයි – කැබිනට් ප්‍රකාශක

මින් ඉදිරියට කැබිනට් මාධ්‍ය හමුව ආවරණය කිරීමට ඉඩ ලබා දෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් හැඳුනුම්පත් නිකුත් කළ මාධ්‍යවේදීන් සඳහා පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී තමාට ඇත්තේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමටත් නිශ්චිත ප්‍රශ්න කිහිපයක් ඇසීම සුදුසු බවත් කැබිනට් මාධ්‍ය හමුවේදී යම් සංයමයක් පවත්වාගත යුතු බවයි අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් ‍කළේ.

මෙය අයාලේ යාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පාර්ශවවලින්ම චෝදනා එල්ලවන බවද අමාත්‍යවරයා ප්‍රක‍ාශ කළා.

සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු ලබාදිය නොහැකි බවත් අමාත්‍යංශ මට්ටමින්ද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර මාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම හරහා මාධ්‍ය මර්දනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉදිරියේදී මාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව ආදී දේ ලබාදීමට සැලසුම් කර ඇති බවත් එහිදී මාධ්‍යවේදීන් හඳුනාගැනීමට ඇති එකම දෙය වන්නේ අමාත්‍යංශය මඟින් නිකුත් කළ හැඳුනුම්පත පමණක් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

රෝයල් පාක් මිනීමැරුමේ සිද්ධියේ විත්තිකරු සිංගප්පූරුවේ නොමැති බව අධිකරණට දැනුම්දෙයි

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, පසුව ජනාධිපති සමාව ලැබූ ජූඩ් ශ්‍රිමන්ත නැමති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බව එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා.

රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට අදාළ පෙත්සමක් අද (29) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එම වග උත්තරකරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට අදාළ ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මෙම වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව රජයේ නීතිඥවරයා සඳහන් කළා.

මෙම වගඋත්තරකරු සොයා ගැනීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා සඳහන් කළේ.

පෙත්සම යළි ජූලි මස 28 වන දා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරයාට නියෝග කර තිබෙනවා.

හොරු අල්ලන්න ප්‍රමාදයි ද? නෑ, ප්‍රමාද නෑ – සුනිල් වටගල

ආණ්ඩුව ජන වරම ලබා ගත්තේ හොරු ඇල්ලීමට බවත්, ඒ අනුව රජය ඒ සඳහා ක්‍රියා කරමින් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

ඒ අනුව ආණ්ඩුව මාස 06 ක් යන විට හොරු ඉපැයූ ධනය භාණ්ඩාගාරයට ගැනීමට පනතක් ගෙන ආ බවත්, එම පනත හරහා නඩු අසන්නේ දේපළ තහනම් කරමින් බවයි ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

හොරු ඇල්ලීමට ප්‍රමාද බවට චෝදනා කළත්, එලෙස ප්‍රමාදයක් නොමැති බවද, රජය මාස 06 ක කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සැලසුම් කළ බවද, ඒ අනුව, මේ වනවිට හොරු කෑ ගැසීමට පටන්ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

මේ විට හොරුන් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බවත්, කැබිනට් මණ්ඩලයේ තිදෙනෙක් සහ බිරින්දෑවරු කිහිප දෙනෙක්ද අත්අඩංගුවට පත්ව ඇති බවත්, නීතිය හා විධානය තරාතිරම නොබලා ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

LPL තරගාවලියෙන් Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම්වල හවුල්කාරීත්වය අවසන් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) Colombo Strikers සහ Jaffna Kings යන කණ්ඩායම් සමඟ තිබූ හවුල්කාරිත්වය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ගිවිසුම්ගත වීමේදී එකඟ වූ කරුණු ඉටු කිරීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස හවුල්කාරීත්වය අවසන් කිරීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා IPG සමූහය නිවේදනය කර තිබෙන්නේ.

ඉදිරියේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී නව හිමිකාරිත්වයක් යටතේ කොළඹ සහ යාපනය නියෝජනය කරන කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කෙරේ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

පසුගියදා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර, ඉන් අනතුරුව විවාදයක් පැවැත්වීමටද කටයුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

අත්අඩංගුවට ගත් ලංගම හිටපු උප සභාපතිට ඇප

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්.ඒ. විමලරත්න ඇප මත මුදා හැරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහු අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඉන්පසු මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,  නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු-මැද, උතුරු සහ සබරගමුව පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීම මැයි 07 සිදු කෙරේ

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගැනීම මැයි 07 සිදුකරන බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

සෙනසුරාදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු කාදිනල්වරු රැස්වී මෙම දිනය තෝරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය සඳුදා ස්වර්ගස්ථ වූ අතර අවසන් කටයුතු සෙනසුරාදා දිනයේ සිදුකළා.

සිරි දළදා වන්දනාවෙන් පසු නුවර වැව පිරිසිදු කෙරේ

දින දහයක් පැවැත්වුනු “සිරි දළදා වන්දනාව” වැඩසටහනෙන් පසු මහනුවර වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක් Clean Sri Lanka ලේකම් කාර්යාලය සහ නාවික හමුදාව එක්ව ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙහිදී නුවර වැවට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් ඇසුරුම් ඇතුළු කැළිකසළ ඉවත් කර, නුවර වැව යළි යථා තත්ත්වයට පත් කළ බවයි සඳහන් වන්නේ.

ස්වේච්ඡා කණ්ඩායම් සහ මහජනතාවගේ සහාය ද මෙම ක්‍රියාන්විතය සඳහා හිමිවුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

news images

news images

ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම

2012 වසරේ මෝදර කෝවිල ආසන්න ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණයෙකුට පොලු මුගුරුවලින් හා විකට් පොලුවලින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (28) මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

එසේම, එම ඝාතන චෝදනාව ඇතුළු චෝදනා 03කට වරදකරුවන් කරනු ලැබූ තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති අතර, එකී වරද සිදුකරන ලද අවස්ථාවේදී එම නඩුවේ දෙවැනි සහ නවවැනි විත්තිකරුවන් වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් වන බැවින්, මහාධිකරණ විනිසුරුවරයා එලෙස ඔවුන් දෙදෙනාට ජීවිතාන්තය දක්වා පමණක් සිර දඬුවම් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේ, එකී විත්තිකරුවන් සත්දෙනා ඇතුළු නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම්කර තිබූ විත්තිකරුවන් 09 දෙනාම එකී වරදට වැරදිකරුවන් බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවයි.

මෙම නඩු විභාගය අතරතුරදී නඩුවේ 04 වැනි විත්තිකරු සහ 06 වැනි විත්තිකරු මියගොස් ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.