සබරගමු සරසවි සිසුවාගේ මරණය ගැන සිසුන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුවෙක් සිය දිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අදාළ සිසුවා මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව ඔහු මුහුණ දුන් නවක වදය බවට සැකයක් ඇති බවට සඳහන් කරමින් එම සරසවියේ සිසුන් පිරිසක් ඊයේ (01) සමනළ වැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ල අනුව මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙන ආකාරය

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේදී, ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

ඒ අනුව, මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන නිසා, ඒ ඒ පළාත් පාලන ආයතන සතුව කොට්ඨාස කිහිපයක් බෙදී ඇති බැවින්, ඒ එම ඡන්ද මධ්‍යස්ථානයේ දුර සහ පිහිටීම අනුව ඡන්ද ගණනය කිරීම සඳහා යම් පියවර ගෙන ඇති බවයි අද (02) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.

එක් කොට්ඨාසයක් තුල ඇත්තේ එක් ඡන්ද මධ්‍යස්ථානයක් නම්, අනිවාර්යයෙන්ම ඒ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීම සිදු කර ප්‍රතිඵලය ඒ ස්ථානයේදීම ප්‍රකාශයට පත් කරන බවත්, එක් කොට්ඨාසයක් තුළ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් ඇති නම්, සමහර ස්ථානවල ඡන්ද පොලේදීම ඡන්දය ගණන් කර, ඡන්දය ගණන් කර ප්‍රතිඵල ලේඛණය පමණක් කොට්ඨාසයේ ඇති ප්‍රතිඵල ප්‍රකාශ කිරිමේ ප්‍රධාන මධ්‍යස්ථානයට ගෙන එන බවත් ඔහු පවසා සිටියා.

තවත් ක්‍රමයක් ලෙස, කොට්ඨාසය තුළ ඇති සියලුම ඡන්ද පෙට්ටි පස්වරු 4.00න් පසු ප්‍රතිඵල නිකුත් කරන මධ්‍යස්ථානයට රැගෙන විත්, වෙන වෙනම ගණන් කර, ඒ මධ්‍යස්ථානයේදී කොට්ඨාසයේ ප්‍රතිඵලය සකස් කරන බවයි සභාපතිවරයා පවසන්නේ.

දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති එක් එක් පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථානවලදී ප්‍රතිඵල සියල්ල එක් කර පළාත් පාලන ආයතනයේ මුළු ප්‍රතිඵලය සකස් කරන බවත්, එහිදී එක් එක් දේශපාලන පක්ෂය ලබා ගත් ආසන සංඛ්‍යාව, සමානුපාතික නියෝජනය යටතේ එක් එක් දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ලැබිය යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාව තීරණය වනවා.

ඉන් අනතුරුව ඒ පළාත් පාලන ආයතනයේ අවසන් ප්‍රතිඵලය සකස් වන බවත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් එය අනුමත කිරීමෙන් අනතුරුව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය පැය 24 තුළ පැමිණිලි 170ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (01) දිනයේ පමණක් පැමිණිලි 170ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 3,998ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඉන් පැමිණිලි 3,722ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 26ක් ලැබී ඇති බවද සඳහන්.

ලැබී ඇති පැමිණිලි 3,998න් 3,362ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 636 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

‍අදාළ නිවේදනය පහතින්.

news images

නවක වද සිදුවීමක් සිදුව ඇත්නම්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න – සබරගමුව මහා ශිෂ්‍ය සංගමය

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ෂාන්ගේ හදිසි අභාවය පිළිබඳව විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම ශිෂ්‍යයින්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම සහෝදරයාගේ මරණයට සමගාමීව විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයින් පිරිසකට නවක වද චෝදනා එල්ල වන බවද, එවැනි නවක වද සිදුවීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව විනිවිද භාවයකින් හා අපක්ෂපාතීව පරීක්ෂණයක් කඩිනමින් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවද ඔවුන් සිය නිවේදනය මඟින් සඳහන් කර තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස උපරිම මැදිහත්වීම හා දායකත්වය ලබා දෙන බවද ඔවුන් සිය ලිපිය මඟින් අවධාරණය කරනවා.

ශිෂ්ට සම්පන්න සමාජය

ක් තුළ නවක වදය නමැති පසුගාමී අදහස් ප්‍රතික්ෂේප වූ කාලයක, එවැනි අදහස් විශ්ව විද්‍යාලය තුළට ගෙන ඒම හෝ ඒ සම්බන්ධයෙන් අනුබල දීම හෝ එවැනි ක්‍රියා සිදුවීම සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ලෙස තරයේ හෙළා දකින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images

මෙවර වෙසක් සතිය මැයි 10 සිට 16 දක්වා පැවැත්වෙයි

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී මැයි 10 සිට 16 දක්වා වෙසක් සතිය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වෙනවා.

Photo Story: LTTE සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං තොගයක් භාරදෙයි

යුද හමුදාව විසින් පසුගිය කාලයේ විවිධ විමර්ශන කටයුතු සඳහා රදවාගෙන තිබූ භාණ්ඩ තොගයක් අදාළ විමර්ශන නිමවීමෙන් අනතුරුව රජය වෙත භාරදීම යුද හමුදා මූලස්ථානයේදී අද (02) සිදුකර තිබෙනවා.

යුද්ධය අවසන්වීමෙන් අනතුරුව LTTE සංවිධානයේ බැංකුවල හා එම සංවිධානය සතුව තිබී යුද හමුදාව මගින් තම භාරයට ගෙන විමර්ශන සඳහා මෙතෙක් රඳවා තබාගෙන තිබූ රත්‍රං, රීදී හා මැණික් ඇතුළු ස්වර්ණාභරණ  මෙලෙස භාරදුන් භාණ්ඩ අතර වන බවයි යුද හමුදාව සඳහන් කළේ.

ඒ අනුව ස්වර්ණාභරණ සහිත පාර්සල් 120ක් අද දිනයේදී පොලීසිය වෙත භාරදීම සිදුකර ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම භාණ්ඩ පාර්සල් පොලිස් ආරක්‍ෂාව යටතේ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මගින් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

news images

news imagesnews images

කාශ්මීරයේ ප්‍රහාරය ගැන පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා.

අදාළ පෙත්සම මඟින් ඉල්ලා තිබුණේ, පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කරන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ මෙවැනි පියවරක් හරහා සන්නද්ධ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමනු ඇති බවත් මෙතරම් සංවේදී කරුණක් සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කිරීමට පෙර එහි බරපතළකම සොයාබැලිය යුතුව තිබූ බවයි.

සබරගමුව සරසවි සිසුවා මියගියේ නවක වදය ලබාදීම නිසාදැයි පොලීසිය විමර්ශන අරඹයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීම නිසා බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළ වැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෙම සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමද යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබාදුන්නේ නම් එම පුද්ගලයන් හඳුනාගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.

නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබ යම් සිත් තැවුලකින් පසුවන්නේ නම් 1926 අමතා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය හරහා පැය විසිහතර පුරා ඔබට සහනයක් ලබාගත හැකියි.

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ගේ හදිසි මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වන විට පත්කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගනු ලබන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම හදිසි මරණය නවක වදය හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස සමාජ මාධ්‍යන්හි සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද මෙම අමාත්‍යාංශයේ  දැඩි අවධානය යොමු වී ඇති අතර, එවැනි සිදුවීමක් අනාවරණය වුවහොත්, ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට මෙම අමාත්‍යාංශය කටයුතු කරන බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතිත්.

news imagesnews images

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව කම්කරු දිනය වෙනුවෙන් අද (01) දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුෂිත හෝටල් බලපත්‍ර (රැ.බී. 07/ 08, බුටික් විලා බලපත්‍ර ස්ථානවල නේවාසික ආගන්තුක සංචාරකයන් සඳහා පමණක් ) හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අලෙවිකිරීමේ බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු බවයි සඳහන් වෙන්නේ.

එම සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන ඊයේ (30) වසනු ලැබූ වේලාවේ සිට මැයි 2වනදා විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.