ජනපති වියට්නාමයට ළඟාවෙයි

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන බවයි සඳහන් වෙන්නේ.

නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ දූත පිරිස වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නූයෙන් මන් කුඕං, ජනවාර්ගික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නොං ති හා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් විසින් පිළිගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා ශ්‍රී ලංකන් ගුවන් යානයක් විශේෂ පරික්ෂාවකට

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

ඉන්දු කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසක් අදාළ ගුවන්යානයෙන් පැමිණි බවට ලද තොරතුරක් මත මෙම පරික්ෂා කිරීම සිදුකරන බවයි සඳහන් වෙන්නේ.

අද (03) පෙරවරු 11.59ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවූ UL122 දරණ යානය මෙලෙස පරික්ෂා කිරීම සිදුකර ඇති අතර ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක ඒකක එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

නවක වදයට මුහුණ දෙන සිසුන් හට ඒ පිළිබඳව දැනුම්දීම සඳහා සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එක් එක් විශ්ව විද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත්කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කර සිටියේ.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු රාජ්‍ය විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන් කොළඹට කැඳවා ඇති බවද, අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශයන්ට අනුකූලව, නිෂ්පාදන පිරිවැයට අනුකූලව මිල ගලපාගැනීමේ අවශ්‍යතාවය මත, ජුනි මාසයේදී විදුලි ගාස්තු වැඩි වීමක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයට භාණ්ඩාගාරය විසින් සහනාධාර ලබා දීම තවදුරටත් සිදුකළ නොහැකි බවයි ඊයේ (2) පෞද්ගලික රූපවාහිනී නාළිකාවක දේශපාලන වැඩසටහනකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ.

කෙසේ වෙතත්, ධීවර ප්‍රජාව වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා රජය භාණ්ඩාගාරය හරහා සහන ලබාදීම දිගටම කරගෙන යන බවද ජනපති පවසා සිටියා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සැබෑ පිරිවැය මත පදනම්ව ඉන්ධන මිල සකස් කරනවා සේම, ලංවිම ද මූල්‍යමය වශයෙන් තිරසාර විය යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ.

මීලඟ විදුලි ගාස්තු සංශෝධනය ජුනි 01 වන දින සිට ක්‍රියාත්මක වන බවත්, එහිදී සුළු මිල වැඩිවීමක් සිදුවන අතර, එය 2024 දෙසැම්බර් පැවති මිලට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා.

විදුලි මිල වැඩිවීම මැතිවරණ උපක්‍රමයක් නොවන බවත්, එය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මගින් මෙහෙයවනු ලබන කාල රාමුව අනුව ජුනි 01 සිදුවිය යුතු දෙයක් බවයි ඔහු පවසා සිටියේ.

ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවය ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය දෙයක් බවද, බලශක්ති ස්වෛරීභාවය නොමැතිව, ජාතික ආරක්ෂාව දැනටමත් අවදානමට ලක්ව ඇති බවද, එම නිසා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම කිසිසේත් සිදු නොකරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කරනවා.

රුපියල් 1,500ක් අල්ලස් ගත් දුම්රිය ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකු අත්අඩංගුවට

රුපියල් 1,500ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

අප්‍රේල් 28 වැනිදා වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය හරහා ගමන්කළ බවට චෝදනා කරමින්, අදාළ පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත සැකකරු විසින් සිය භාරයට ගෙන ඇති අතර, එම හැඳුනුම්පත නැවත ලබාදීම සඳහා රුපියල් 3,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

පසුව එම මුදල රුපියල් 1,500ක් දක්වා අඩුකර අල්ලස් ලෙස ලබාගැනීමේ දී, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක කාර්යාලය තුළදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 50%කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන්

මේ වනවිට පැතිර යමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි පවසනවා‍.

වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 50%කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා බව බවයි ඔහු පවසා සිටින්නේ.

එසේම, මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17,000ක පිරිසක් වාර්තා වී ඇති බවද, එම සංඛ්‍යාවෙන් 1,800ක ප්‍රමාණයක් කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවද කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගීතිකා රත්නවර්ධන සඳහන් කරනවා.

ඩෙංගු අවදානම සහිත නිවාස 70,000ක් පරීක්ෂා කර ඇති අතර, නිවාස 471කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වෛද්‍ය ගීතිකා රත්නවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

පාර්ලිමේන්තුව මැයි 08 සහ 09 රැස්වේ

පාර්ලිමේන්තුව මැයි 08 සහ 09 යන දෙදින තුළ රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කළ බවයි මහලේකම්වරිය සඳහන් කර සිටියේ.

මේ අනුව මැයි 08 වැනි බ්‍රහස්පතින්දා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව, ආනයන තීරුබදු සම්බන්ධයෙන් පසුගිය 09 දින ඉදිරිපත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය කර ඇති බව සඳහන්.

මැයි 09 වැනි සිකුරාදා සාමාන්‍ය පාර්ලිමේන්තු කටයුතුවලට අමතරව, පෙරවරු 11.30 සිට ‍පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 06ක් විවාද කිරීම සඳහා කාලය වෙන් කර තිබෙනවා.

ඒ අනුව, හේෂා විතානගේ, රෝහණ බණ්ඩාර, චමින්ද විජේසිරි, රවි කරුණානායක, රවීන්ද්‍ර බණ්ඩාර, ලාල් ප්‍රේමනාත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනා මෙදින විවාදයට ගැනීමට තීරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කොස්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයෙක් මියයෑම ගැන විමර්ශනයක්

අම්බලන්ගොඩ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරණයට පත්වීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කොස්ගොඩ – හතරමං හන්දිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අදාල තරුණයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ මව්පියන් විසින්ම කොස්ගොඩ පොලිසියට කළ දැනුම්දීමකට අනුව බවයි පැවසෙන්නේ.

මෙම තරුණයා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට ඇති බවද, පොලිසිය තුළදී අසනීප වීම නිසා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව, ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්.

අත්අඩංගුවේ සිටි තම පුත්‍රයාට පහරදීමක් සිදුව ඇති බවට එම තරුණයාගේ මව්පියන් චෝදනා කර සිටිනවා.‍

අදාළ තරුණයා සිර මැදිරිය තුළ සිටියදී සිහිසුන් වූ බවත්, පසුව ඔහු රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි කොස්ගොඩ පොලිසිය පවසා සිටියේ.

ඉන්දියාවේ පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ බහුකාර්ය වරාය විවෘත කෙරේ

ඉන්දියාවේ කේරලයේ විජින්ජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහුකාර්ය වරාය අද (02) විවෘත කරනු ලැබුවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි විසින් මෙම වරාය විවෘත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙය එරට පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ඉතිහාසයට එක්වෙනවා.

කොළඹ වරාය හරහා දැනට යොමු කරනු ලබන භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව මෙම වරාය නිර්මණය කර ඇති අතර, මේ වන විට කොළඹ වරාය හා ඩුබායි වරාය ඉන්දියාවේ ප්‍රතිනැව්ගත කරන භාණ්ඩවලින් 70% ක් හැසිරවීම සිදුකරනු ලබනවා.

පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන ආකාරය ගැන පැහැදිළි කිරීමක්

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙවර ඡන්ද දායකයින්ට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ ඇත්තේ, තමන්ට අයත් පළාත් පාලන ආයතනයේ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ / ස්වාධීන කණ්ඩායම්වල නම්, අංක සහ සලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවක් බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ.

පළමුවෙන්ම ඇති කොටුවේ ඇත්තේ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නම බවත්, දෙවනුවට ඇති කොටුවේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ සටහන් කර ඇති බවත්, එයට ඉදිරියෙන් ඇති හිස් කොටුවේ එක් කතිරයක් යෙදීමෙන් තමන්ගේ ඡන්දය සටහන් කළ හැකි බවත් සභාපතිවරයා දන්වා සිටිනවා.

එක් කතිරයකට වඩා යොදා තිබුණහොත් හෝ වෙනත් සලකුණු යොදා තිබුණහොත් අදාළ ඡන්දය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සටහන් වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

news images