ජයවර්ධනපුර විශ්ව විද්‍යාල සිසුවාට පහරදුන් සිසුන් 07 දෙනාට ඇප

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, එම විශ්ව විද්‍යාලයේම සිසුන් 07 දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.

එම සිසුන් අද (07) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, එක් අයෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.

හෝමාගම මූලස්ථාන පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව, සිදුකරන ලද විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

නව පාප් වහන්සේ පත් කර ගැනීමට කාඩිනල්වරු රැස්වේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ලොව පුරා කාදිනල්වරු 130 කට වැඩි පිරිසක් වතිකානුව වෙත රැස්ව සිටිනවා.

ඒ අනුව, නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා අද (07) රෝම වේලාවෙන් පස්වරු 5.30 ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00) එම කාදිනල්වරුන් වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයේ දී conclave නම් අවස්ථාව ආරම්භ කිරීමට නියමිතයි.

මෙහිදී නව පාප්වරයෙකු තේරී පත් වන තුරු කාදිනල්වරුන් බාහිර ලෝකය සමඟ කිසිදු සන්නිවේදනයක් සිදු නොකරන අතර, දේවස්ථානයේ දුම් කවුළුවෙන් කළු පැහැති දුමාරයක් පිට වුවහොත් නැවත ඡන්ද විමසීමක් සිදුවනු ඇති බව ද, සුදු පැහැති දුමාරයක් පිට වුවහොත් නව පාප්වරයෙකු පත් වී සිටින බව ද දැක්වෙනවා.

කෙහෙලිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (07) අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ප්‍රසන්න රණවීර මැයි 19 දක්වා රිමාන්ඩ් භාරයට

අධිකරණය වෙත භාරවූ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අද (07) නියෝග කළා.

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව විරුද්ධව නඩු පවරා තිබුණු අතර, අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

හමුදාමය සංයමයකින් කටයුතු කරන ලෙස එ.ජා. සංගමයේ මහ ලේකම් ඉන්දියාව සහ පාකිස්තානයෙන් ඉල්ලයි

හමුදාමය සංයමයකින් කටයුතු කරන ලෙසට ඉන්දියාව සහ පාකිස්තානයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.

ඉන්දියාව සහ පකිස්ථානය අතර හමුදා ගැටුමක් ලෝකයට දරාගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

හමුදාමය ආකාරයෙන් විසඳුමක් ලබාගත නොහැකි බවද, ආතතීන් සමනය කිරීමට සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවද මහ ලේකම්වරයා පෙන්වා දෙනවා.

පහල්ගම් සිද්ධියට සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම පිළිගත නොහැකි බවත්, එයට වගකිව යුත්තන් වලංගු සහ නීත්‍යානුකූල ක්‍රම මගින් නීතිය හමුවට පමුණුවා ගත යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වැඩිදුරටත් පවසා සිටින්නේ.

ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ

පළාත් පාලන මැතිවරණයේ ඇතැම් ප්‍රදේශවල ඡන්ද ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ගණන් කිරීම ඡන්ද ප්‍රකාශ කරන මධ්‍යස්ථානයේදීම සිදු කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මෙවර පළමු ඡන්ද ප්‍රතිඵලය වෙනදාට වඩ‍ා කළින් ප්‍රකාශයට පත් කිරිමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වෙයි

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 4.00 ට අවසන් වුණා.

ඒ අනුව අද පෙරවරු 7.00 ට ආරම්භ වූ ඡන්ද විමසීමේ කටයුතු, පස්වරු 4.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී ක්‍රියාත්මක වුණා.

සබරගමුව නවක වද සිද්ධියට තවත් සිසුන් හයක් රිමාන්ඩ්

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු නවක වදය හේතුවෙන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තවත් සිසුන් 06 දෙනෙකු මැයි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (06) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිසුන් ගණන 10 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සවස 4.00 වන විට ප්‍රදේශ කිහිපයක ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන්

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

අද (06) සවස 4.00ට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ප්‍රතිශතයන් පහතින්.

* මන්නාරම – 70%

* මුලතිව් – 60%

* නුවරඑළිය – 60%

* බදුල්ල – 60%

* අනුරාධපුරය – +60%

* පොළොන්නරුව – 64%

* මොණරාගල – 61%

* කෑගල්ල – 58%

* කළුතර – 61%

* ගාල්ල – 63%

* වව්නියා – 60%

* දිගාමඩුල්ල – 63%

* ත්‍රිකුණාමලය – 67%

අනෙකුත් ප්‍රදේශවල ප්‍රතිශත යාවත්කාලීන කිරීම් තවත් සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න.

නාමල් රාජපක්ෂ ඡන්දය භාවිතා කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (06) පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර තිබුණා.

ඒ අනුව මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඔහු සිය ඡන්දය භාවිතා කළ බවයි සඳහන් වෙන්නේ.