ලිංගික අල්ලස් ඉල්ලූ නිලධාරියාට වසර 20ක සිර දඬුවම්

07 හැවිරිදි දරුවෙකුගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා 30 හැවිරිදි තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම සංවර්ධන නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

එම සිර දඬුවම වසර 10කින් ගෙවී යා යුතු බවත්, එහිදී විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමිවන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම විත්තිකරුට රුපියල් 20,000ක දඩයක් ද කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

2015 වසරේ මාර්තු මස 31 වැනිදා වකුගඩු ආබාධයෙන් පෙළන සිය හත් හැවිරිදි දරුවාට සැත්කමක් සිදු කිරීම සඳහා රජයෙන් ලබාදෙන සහනාධාරය ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා තිදරු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා, ඇය තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගිය අවස්ථාවේදී මෙම විත්තිකරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

Private Jet එකට වියදම් කළේ, වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් – විජිත හේරත්

ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ සිට පැමිණි විශේෂ ගුවන් යානයට ශ්‍රී ලංකා ජනතාවගේ මුදල් කිසිවක් වියදම් කර නොමැති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා ලංකාවට පැමිණි විශේෂ ගුවන් යානයට අදාළ වියදම් දැරීම සිදුකළේ, වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් බවයි අද (08) පාර්ලිමේන්තුවේදී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.

ලැබුණු රාජ්‍ය ආරාධනාවක් අනුව ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ලෙස තමා සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවය සඳහාද තවත් අරාධනාවක් ලැබී තිබූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වෙසක් උත්සවය 6 වනදා දින උදෑසන පැවති බවත් එදින එයට සහභාගී වී යළි මෙරට මැතිවරණයට සහභාගීවීමට අවශ්‍ය නිසා එයට සහභාගීවීමට නොහැකි බවට ඔවුන්ට දැනුම්දුන් බවත් ඉන් අනතුරුව වියට්නාමයේ බෞද්ධ සංගමයෙන් සම්පූර්ණ වියදම දරා ලංකාවට පැමිණීමට විශේෂ ගුවන් යානයක් සූදානම් කර තිබූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මන්ත්‍රී අර්ච්චුනා​ව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කෙරේ

පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභා ගර්භයෙන් ඉවත් කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවකට පෙර කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ අද (08) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතු කරමින් ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මෙලෙස ඔහු සභා ගර්භයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

පාප්වරයෙක් පත්වී නොමැති බව දන්වමින් තෙවන වරටත් කළු දුමාරයක්

නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව තුන්වන ඡන්ද විමසීමෙන් පසුව ද තවමත් නව පාප් වහන්සේ කෙනෙකු තෝරාපත් කරගෙන නොමැති බවට සංඥා කරමින්, සිස්ටයින් දේවස්ථානයට ඉහළින් කළු දුමාරයක් පිටවී තිබෙන බවයි ‍විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවසාන වරට පැවති, 2013 දී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තෝරා පත් කරගත් සම්මේලනය ද දින දෙකක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කොට‍හේන දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

කොළඹ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කර ගැනීම හේතුවෙන් මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් නිදහසට කරුණු විමසීමටත්, අපයෝජන සිද්ධියට අදාල ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මේ වනවිට මෙම සිද්ධියට අදාල පොලිස් විමර්ශන වාර්තාව කැඳවා ඇති අතර, එය ලද වහාම අදාල විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ පත්වීම බල රහිත කරමින් නියෝගයක් නිකුත් කෙරේ

2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (08) රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

එහිදී කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි 2024 වසරේ මාර්තු මස 05 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත් කරන ලෙසට අධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයාට තවත් නියෝගයක් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ පත්කිරීම අභියෝගයට ලක්කරමින් කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායකගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාකිස්ථානය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයට සිදුකරන සියලුම ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

පාකිස්ථානය විසින් සිය ගුවන් කලාපය හා ගුවන් තොටුපොළවල් කිහිපයක් වසා දැමීමට ගත් තීරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් කටයුතු කළ බවට රටේ ජනතාව පණිවිඩයක් ලබා දී තිබෙනවා – සජිත්

සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබාදුන් දසලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙත සිය ආචාරය පුද කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වර්තමාන ජනතා විමුක්ති පෙරමුණු රජය මාස හයක් වැනි කෙටි කාලයක් තුල අති විශාල පරිහානියකට, කඩා වැටීමකට ලක් වී ඇති බවයි මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර සිටියේ.

විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කර ගනිමින් කටයුතු කළ බවට රටේ ජනතාව පණිවිඩයක් ලබා දී ඇති බවද විපක්ෂ නායකවරයා පැවසුවා.

ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතුවිය යුතුයි යන්න ජනමතය බවත්, ඒ අභියෝගාත්මක වගකීම් ඉෂ්ට කරන්නට හා ඊට නායකත්වය ලබාදෙන්නට තමා සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියේ.

ඉන්දියා සහ පාකිස්තාන ප්‍රහාරවලින් දෙරටේම සිවිල් වැසියන් රැසක් මරුට

අඟහරුවාදා රාත්‍රියේ සිට පකිස්ථානය විසින් එල්ල කරන ලද කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු මියගොස්, 43 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය හමුදාව පවසනවා.

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පූන්ච් සහ තංඩාර් හි සිවිල් ප්‍රදේශවලට එම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි සඳහන් වෙන්නේ.

එසේම, ගුවන් ප්‍රහාර සහ දේශසීමා වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය බව පාකිස්තානය පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, ගුවන් ප්‍රහාරවලින් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර නියමිත ගුවන් ගමන් 550 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති බව වාර්තා වනවා.

ගුවන් ප්‍රහාරවලින් පසු පාකිස්තානයේ සියලුම නියමිත වාණිජ ගුවන් ගමන් වලින් 16% ක් සහ ඉන්දියාවේ 3% ක් අවලංගු කර ඇති බවයි ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවක් වන Flightradar24 පවසන්නේ.

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

යම් කිසි පළාත් පාලන ආයතනයක එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සමස්ත සභික සංඛ්‍යාවෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ලබා නොමැති නම්, සභාපති ධුරය සඳහා පත්වන්නේ කවුද යන ප්‍රශ්නය සඳහා මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පිළිතුරු ලබාදී තිබෙනවා.

එහිදී පළාත් පාලන සහකාර කොමසාරිස්වරු විසින් පැහැදිලි ජයක් ලබා නොමැති පළාත් පාලන ආයතන වෙත ගොස්, එහි තේරීපත් වූ සභිකයන් සියල්ලම සමග සාකච්ඡා කර, ඔවුන්ගේ එකඟත්වයන් තුළ සභාපති ධුරය ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

සමහර විටෙක එහිදී නම් යෝජනා කර ඡන්ද විමසීමක් සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ හෝ සියළු සභිකයන්ගේ එකඟත්වයෙන් සභාව පිහිටුවීමට කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය තුළ දී පැහැදිලි බහුතරයක් නොමැති අවස්ථාවල මෙවැනි ප්‍රතිඵල ලැබිය හැකි බවයි මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.