හලාවත වෙඩි තැබීමක්

හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ස්වාමි පුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කර ගනිමින් සිය බිරිඳට වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව සැකකාර සැමියා ගෙල වැල ලා ගැනීමට උත්සාහ කර ඇති අතර, දෙදෙනාම මේ වන විට රෝහල්ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රටක දියුණුව රැඳී තියෙන්නේ, රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත – අගමැතිනිය

රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඵලදායීතාවය වැඩි කිරීමෙන් අපේ ජීවන තත්ත්වය උසස් විය හැකි බවත්, ඵලදායීතාවය පහත වැටීම රටකට අහිතකර ලෙස බලපාන බවයි ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අගමැතිවරිය සඳහන් කළේ.

ඵලදායිතාවය යනු වෙහෙස මහන්සි වී වැඩ කිරීම පමණක් නොව, අරපිරිමැස්මෙන් හා වගකීමෙන් භාවිත කිරීම තුළින් ඉහළ ඵලදායීතාවයක් ලබා ගැනීමට හැකිවීම බවද ඇය පවසා සිටියා.

උපායමාර්ගික වශයෙන් ආයෝජන වැඩි කිරීමටත්, තිරසර සංවර්ධනයක් සහතික කිරීමටත්, තරගකාරීත්වය ඉහළ නැංවීමටත් යන කාරණාවලට ඵලදායීතාවය වැඩි කිරීම අත්‍යවශ්‍ය වෙන බවයි අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Microsoft සමාගම සේවකයින් 6000 ක් ඉවත් කරයි

Microsoft සමාගම සිය සේවකයින්ගෙන් 3% ක්, එනම් සේවකයින් 6000 ක් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිරිවැය පාලනය කිරීම සහ තවත් හේතු කිහිපයක් මත අවශ්‍ය ආයතනික වෙනස්කම් සිදු කිරීමට සමගාමීව මෙම පියවර ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ වන විට Microsoft සමාගමේ සේවකයින් 228,000 ක් පමණ සේවය කරන අතර පසුගිය 2023 වසරේදී සේවකයින් 10,000 ක ප්‍රමාණයක් ඉවත් කිරීමෙන් අනතුරුව සිදු කරන විශාලතම සේවක කප්පාදුව මෙය ලෙසයි වාර්තා වෙන්නේ.

මහින්ද නිදොස් කොට නිදහස් කර ගැනීමේ ධාර්මික යුද්ධය ආරම්භ කළා, යුද්ධයට නායකත්වය දෙන සෙන්පතියා නාමල් – පසන් කස්තුරි

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට හේතුවූයේ ඔවුන් විසින් එල්ල කළ අභූත චෝදනා බව පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි පවසනවා.

ඒ අනුව නව ආණ්ඩුව පත්වි මාස 6 ක් ගතවන විට එම චෝදනා ඔප්පු කිරීමට නොහැකි වන විට ඡන්දය ලබාදුන් ජනතාව සිදුකළ චෝදනා ඔප්පු කරන ලෙස ආණ්ඩුවට රතු එළියක් දල්වා ඇති බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

එසේම මාස 6 වැනි කෙටි කාලයක් තුළ කිසිවෙකුත් නොසිතූ අයුරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා මිලියනයකට ආසන්න පිරිසක් එක්වී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහස් කර ගැනීමේ සටන ආරම්භ කරන ලෙස ඡන්දය ලබාදුන් ජනතාව කොළ එළියක් ලබාදි ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර ගැනීමේ සටන ආරම්භ කර ඇති බවත් එය ධාර්මික යුද්ධයක් බවත් එම යුද්ධයට නායකත්වය ලබාදෙන සෙන්පතියා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බවයි දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි වැඩිදුරටත් ප්‍රකා‍ශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, නාමල් රාජපක්ෂට එරෙහි චෝදනා ඔප්පු කරන ලෙස ඉල්ලා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරි සහ පොදු ජන පෙරමුණේ නීතිඥ සංගමය නියෝජනය කරමින් නීතිඥයින් කීපදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෝටියක් වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ, ටිරාන්ට, දේශබන්දුට කෝටි 30 ක් දුන්නේ නැති නිසා – හරක් කටා

අද (14) අධිකරණ කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ‘හරක් කටා’ තංගල්ල බන්ධනාගාරය තුළ රඳවා ගැනීමට මාසයකට කෝටියක් වැය වන බවට පසුගියදා පුවත්පත් වාර්තාවල දැක්වූ කරුණු සම්බන්ධයෙන් එහිදී ඔහු මාධ්‍ය වෙත සිය ප්‍රතිචාරය දක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ඔහු සඳහන් කරන්නේ, “කෝටියක් වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ, ටිරාන් අලස්ටයි, දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි 30 ක් දුන්නේ නැති එකට…” ලෙසටයි.

විවිධාංගීකරණය වූ විපක්ෂය එකතුවෙලා පෙන්නන්නකෝ – ජනපති

පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

විවිධාංගීකරණය වූ විපක්ෂය එකතු වී පෙන්වන ලෙසත් එලෙස එකතු වුව‍හොත් ලබාගත් ප්‍රතිඵලය හෝ නොලැබී යනු ඇති බවයි අද (14) ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

බෙදී වෙන්වී ඡන්දය ඉල්ලා, සභාව පිහිටුවීමේදී එකතුවීමට ලැජ්ජා නැතිව ඔවුන් උත්සාහ කරන බවත් එකතු වී පැමිණෙනවා නම් හෙට කුමන හෝ ඡන්දයක් පැවැත්වීමට සූදානම් බවත් මෙම ජයග්‍රහණය ආපසු හැරවිය නොහැකි බවත් එලෙස හැරවීමට කිසිවෙක් නොමැති බවත් ඔවුන් පැරණි පුස් ව්‍යාපාර බවද උත්සවය ඇමතූ ජනාධිපතිවරයා සඳහන් කළා.

බලයේ බලවත්භාවය ඇඟෙන් මැනීම සිදු නොකරන ලෙසත් එලෙස ඇඟෙනුත් එකක් දෙකක් අවශ්‍ය නම් ප්‍රකාශ කරන ලෙසද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ජාතික ජන බලවේගය ආරම්භ‍යේදී සභා 152 ක බලය පිහිටුවන බවත් ඉතිරි 115 බලය සභාව ආරම්භ කරන දවසෙහි පිහිටුවීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනවරම අනුව කටයුතු කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් ජන වරමට එරෙහිව කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව, නීතිය, දේශපාලනය යන සියල්ලන්ගෙන්ම වැඩ කිරීමට සූදානම් බවයි.

කැනඩාවේ ඉදිකළ LTTE ස්මාරකයට ශ්‍රී ලංකා රජයේ විරෝධතාව

පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ කැනඩාවේ ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාවය කැනඩා මහ කොමසාරිස්වරයා වෙත විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව යුද ගැටුම්වල අවසාන අදියරේදී ජන සංහාරයක් සිදුකළ බවට එල්ලවන චෝදනා ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් කිසිඳු විශ්වසනීය අධිකාරියක් විසින් සනාථ කරන ලද නොවන බවත් එය සමඟ යවන තොරතුරු මත පදනම්වී ඇති අතර ශ්‍රී ලංකාව මෙම අසත්‍ය අඛ්‍යානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාව තුළ මැතිවරණ වාසි ලබා ගැනීම සඳහා මෙම ප්‍රචාරය දියත් කර ඇති බවද විදේශ අමාත්‍යවරයා දැනුම්දී තිබෙනවා.

එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය අඛණ්ඩව දරන උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණා ඇති කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

පසුගියදා කැනඩාවේ බ්‍රැම්ප්ටන් නුවර ඊනියා දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකිරීමට කටයුතු කර තිබුණා.

අදාළ නිවේදනය පහතින්.

news images

හයේශිකා ඇතුළු පිරිසට ඇප

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ‍වෙත භාරවී තිබෙනවා.

තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර අදාළ සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි අතර ඒ අනුව අද දිනයේ මෙලෙස අධිකරණය වෙත භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇයගේ සැමියා හා කළමනාකරු යන දෙදෙනාව සහ පහරදීමට සම්බන්ධ තවත් දෙදෙනෙක් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව සැකකාර හයේශිකා ප්‍රනාන්දු සහ අනෙකුත් සැකකරුවන් සිව්දෙනාට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රම්බොඩ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17 දක්වා ඉහළට

කොත්මලේ, රම්බොඩ ප්‍රදේශයේ අද (14) පස්වරුවේ වෑන් රථයක් පෙරළී සිදු වූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ‍ගොස් ඇති බව පොලීසිය පවසනවා.

තුවාලකරුවන් කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.