වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට එය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළ ද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවත්, මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ පවසා සිටියා.

මේ පිළිබඳව පොලීසිය දැනුවත් කිරිමටද පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පිරිසක් මුදාහරී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය.

නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය විසින් අධිකරණයට දන්වා සිටියේ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ ඉල්ලීමක් කරමින්, මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබී පොලීසිය භාරයට ගන්නා ලද ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩ ඔවුන් වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා.

ඒ අනුව අදාල භාණ්ඩ සැකකරුවන් වෙත මුදාහරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

දුම්රිය ගැටළුවලට විසඳුම් දී තිබියදීත් සිදුකරන වැඩ වර්ජනය ගැන ප්‍රවාහන අමාත්‍යාංශයේ අප්‍රසාදය

මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාකර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය මට්ටමින් ක්‍රියාමාර්ග ගෙන තිබියදී, දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හා ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම පසෙක දමා, ජනතාව අපහසුතාවට පත්වන අයුරින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කරන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ජනතාව අපහසුතාවට පත් කරන මෙම වැඩ වර්ජනය පිටුපස වෙනත් උවමනාවක් තිබේද යන සැකය මතුවන බවත්, ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම හා ජනතාව පීඩාවට පත් කිරීම උත්සාහය බවයි ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටින්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 106 දෙනෙකු බඳවා ගැනීමට මාස කිහිපයකට පෙර අනුමැතිය ලබාදී තිබුණ ද, දෙපාර්තමේන්තුවේ යම් උප දෙපාර්තමේන්තු අතර ඇති අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වනතෙක් නව බඳවා ගැනීම් කිසිවක් සිදුකිරීමට නොහැකි වී ඇති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග ගෙන තිබියදීත් මෙසේ කටයුතු කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

කොටහේන ප්‍රදේශයේ ඊයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල

කොටහේන, සුමිත්‍රාරාම පාරේ නිවසක් ඉදිරිපිට ඊයේ (16) සවස වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ නිවස ඉදිරිපිට රැඳී සිටි පුරුෂයෙකුට සහ කාන්තාවකට මෙලෙස වෙඩි තබා පලාගොස් ඇති බවත්, වෙඩි වැදීමෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

තුවාලකරු වයස අවුරුදු 42 ක් වන අතර තුවාලකාරිය වයස අවුරුදු 70 ක් වන බවත්, ඔවුන් කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් සඳහන්.

පිස්තෝල අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පැවසෙන්නේ.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ලක්ෂ 23ක් ඡන්දේ නොදීම නිසයි ජනාධිපතිතුමා මේ කුපිත වෙලා ඉන්නේ – ප්‍රේමනාත් සී. දොළවත්ත

ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පතක් ගෙන ඒමට ආණ්ඩුව උත්සාහ කළහොත්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත පවසනවා.

ඒ අනුව එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහොත්, තුනෙන් දෙකක බලයට අමතරව රජයට ජනමත විචාරණයකට යාමට ද සිදුවිය හැකි බවයි අද (16) මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කළ ලක්ෂ 23ක් ජනතාව ඔවුන්ට ඡන්දය ලබාදී නොමැති බවද, ජනාධිපතිවරයා කුපිත වී ඇත්තේ එම කාරණාව නිසා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

චන්ඩි ටෝක් දාලා නම් හරියන්නේ නෑ, ජනපතිට වඩා ලොකු චන්ඩි ගෝඨාභයලා අන්තිමට කෙලවගත්තා – මුජිබර්

නීතියේ ආධිපත්‍යය හා ක්‍රම වෙනසක් සිදු කිරීමට ලබාගත් ජනවරමට ආණ්ඩුව පිටුපා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ කතාව ජනාධිපතිවරයෙකුට උචිත නොවන බවත්, පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම චන්ඩිකමකින් සිදුකළ නොහැකි බවයි අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

චන්ඩි කථා පැවසීම හරි වැඩක් නොවන බවත්, වත්මන් ජනපතිට වඩා ලොකු චන්ඩි යැයි සිතූ ගෝඨාභයට ද අන්තිමට වැඩ වැරදුණු බවයි ඔහු සඳහන් කර සිටියේ.

ආණ්ඩුවට ලබාදුන් ජනවරම ගැන ආණ්ඩුව තැකීමක් නොකරන බවද, මැතිවරණයට පෙර දේශපාලන පත්වීම් සිදු නොකරන බවට ප්‍රකාශ කළ ද, පසුගියදා පත්කළ තානාපතිවරුන් අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ ‍ජාතික ජන බලවේගයේ අයෙකුටද තානාපති ධුරයක් ලබාදී ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩුව යන්නේ පරණ ආණ්ඩු ගිය ගමනම බවත්, පාට පමණක් වෙනස් වී ඇති බවත් ඔහු පැවසුවා.

කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂ කණ්ඩායම් විසින් පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත් වන්න – ජනපති

මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දී තිබෙනවා.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

2024 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී නිෂ්පාදන ආර්ථිකයට අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම සිදුවූ අතර, දිස්ත්‍රික් මට්ටමින් වෙන් කරන ලද එම ප්‍රතිපාදන නිදහස් කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාව පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙනවා.

පසුගිය වසර කිහිපය තුළ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය නොවීම හේතුවෙන් ග්‍රාමීය ජනතාව ගැටලු රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි අයුරින් නියමිත කාල රාමුව තුළ වැය කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

2021 දී ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් ආනයනය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස ඔහුට වරෙන්තු නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් කැඳවයි

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් 2025 මැයි මස 16 වන දින සිට දින 14 ක් ඇතුළත, ලියුම් කවරයේ වම් කෙළවරේ “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා යෝජනා” යනුවෙන් සඳහන් කර, ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නො: 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට හෝ legal@moj.gov.lk විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි එම අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ.

නව ත්‍රස්ත විරෝධි පනතක් හඳුන්වාදීම තුලින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතීන්ට අනුගතවීමට අදහස් කරන බවයි අධිකරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

රුසියාව සහ යුක්රේනය අතර මුහුණට මුහුණ සාකච්ඡා ඉස්තාන්බුල් හිදී ආරම්භ වෙයි

රුසියාව සහ යුක්රේනය අතර මුහුණට මුහුණ සාකච්ඡා මේ වන විට ඉස්තාන්බුල් හිදී ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරෙන් පසු දෙරටේ නියෝජිතයින් මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත්, සාකච්ඡා ආරම්භ වන විට, දෙපාර්ශවය අතර අතට අතදීමක් සිදු නොවූ බවයි පැවසෙන්නේ.

මේ අතර, තමන්ට හැකි ඉක්මනින් රුසියානු ජනපති පුටින් හමුවට අවශ්‍ය බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

news images

news images