වරාය තුළ නැවත වතාවක් බහාලුම් රථ තදබදයක් ඇතිවෙමින් තිබෙනවා – බහාලුම් රථ හිමියන්ගේ සංගමය

කොළඹ වරාය තුළ නැවත වරක් බහාලුම් රථ තදබදයක් ඇතිවෙමින් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසනවා.

අදාළ නිලධාරීන් විසින් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළි නොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි අද (25) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමියේම කොටසක් රේගුවට ලබා දෙමින්, තදබදය අවම කිරීම සඳහා සියලු පහසුකම් සහිත අක්කර දෙකක භූමියක් නව රජය විසින් වෙන් කර දී තිබුණ ද, මේ වන තෙක් එම භූමියට එකදු රථයක්වත් ඇතුළත් කර නොමැති බවද, එබැවින් කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙය නිරාකරණය කර ගැනීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසයි බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ජූලි 09 දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින්, දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක් ලබන මස 09 වැනිදා දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ Clean Sri Lanka ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන “Clean Sri Lanka දිනය” ලෙස නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන බවත්, මීට සමගාමීව මෙරට පාසල් 10,096 ආවරණය වන පරිදි චිත්‍ර හා පෝස්ටර් ප්‍රදර්ශන, දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම්ද සිදු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

තුෂාර උපුල්දෙණිය ජූලි 09 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

වැඩ තහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ජූලි 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (25) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපති සමාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් තුෂාර උපුල්දෙණියට චෝදනා එල්ල වී තිබෙනවා.

සූර්යබල විදුලියට ගෙවන ගාස්තු අඩු කිරීමට එරෙහි පෙත්සම අගෝස්තු 04 කැඳවීමට නියෝග

සූර්ය විදුලිබල උත්පාදකයන් 17 දෙනෙකු විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක්, කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 04 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (25) නියෝග කර තිබෙනවා.

සූර්ය විදුලිබල උත්පාදකයන්ට එම විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ගෙවනු ලැබූ ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝහර ද සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

වහලවල් මත සවිකර තිබෙන සූර්යබල උත්පාදන කෝෂ හරහා නිෂ්පාදනය කරනු ලබන විදුලිය මිලදී ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය මෙන්ම LECO සමාගම විසින් ගෙවනු ලබන ගාස්තු පසුගිය ජූලි 01 වැනිදා සිට අත්තනෝමතික ලෙස අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත්, විදුලිබල පනතට අනුව මෙවැනි මිල අඩු කිරීමක් සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු බවත්, එහෙත් මෙම අඩු කිරීම සඳහා එම කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි ඔවුන් චෝදනා කරන්නේ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පමණක් මෙලෙස ගාස්තු අඩු කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්, එබැවින් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවක් ජූලි 23 කැඳවීමට නියෝග

අර්ජුන් ඇලෝසියස්ට එරෙහි නඩුවක් එළඹෙන ජූලි මස 23 වැනිදා කැඳවීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

නොච්චියාගම පී.ඩී.ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන්, කැබලි කරන ලද බඩඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන, ඊට අදාළ මුදල් නොගෙවා, රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක (52,900,000) මුදලක් වංචා කර, සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඊට අදාළ විමර්ශනයන්හි ප්‍රගතිය දන්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම අදාළ නඩුව කැඳවීමට නියමිත ලබන ජූලි 23 දින සැකකාර අර්ජුන් ඇලෝසියස් හට යළිත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මාලිමාවට පළාත් පාලන ආයතන 200ක බලය හිමිවෙයි

මේ වනවිට පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.

ඒ අනුව, ඔවුන් සෘජුව ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 151ක් හා, සභාව රැස්වීමෙන් අනතුරුව බලය පිහිට වූ ආයතන සමඟ මෙලෙස පළාත් පාලන ආයතන 200 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අද (24) දින බලය හිමිවූ ගම්පොළ නගර සභාව සහ බෙන්තොට ප්‍රාදේශීය සභාව සමග සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 27 ක බලය තහවුරු කිරීමට සමත් වී තිබෙනවා.

මීට අමතරව, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 17ක බලය තහවුරු කරගෙන ඇති අතර, පොදුජන පෙරමුණට, ලංකා කම්කරු කොංග්‍රසයට සහ මුස්ලිම් කොංග්‍රසයට පළාත් පාලන ආයතන 03 බැඟින් හිමි වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ස්වාධීන කණ්ඩායම් ඇතුළු සෙසු පක්ෂ කිහිපයක්ද පළාත් පාලන ආයතන 12ක බලය හිමිකර ගෙන ඇති අතර, තවත් පළාත් පාලන ආයතන කිහිපයකම බලය පිහිටුවීමේ කටයුතු සිදුකිරීමට නියමිතව පවතිනවා.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීම සඳහා දකුණු ආසියානු කලාපයේ නියෝජිතවරිය ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) අලුයම කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ඉගෙනුම් පාලක මණ්ඩලය ජූනි 24 සිට 26 දින දක්වා කැනඩාවේ වැන්කුවර් හිදී පැවැත්වීමට නියමිත බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් ළමා සහ කාන්තා අධ්‍යාපනය සහ පුහුණුව, උසස් අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, ජීවිත කාලය පුරාම ඉගෙනීම සහ ඩිජිටල් තාක්ෂණය සක්‍රීය ඉගෙනීම සඳහා දායක කර ගැනීම යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

සරණ ගුණවර්ධනගේ නඩුවක් අගෝස්තු 20 විභාගයට ගැනීමට නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කර තිබෙනවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී එම ආයතනයට කුලී පදනමක් මත ලබාගත් වාහන අවභාවිතා කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුව කොළඹ මහාධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස ඉල්ලා සිට තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද හමුවට යොමු කෙරුණු අතර, එම විනිසුරුවරයා ඉදිරියේ අදාළ නඩුව අගෝස්තු මස 20 වැනිදා යළි කැඳවීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: සටන් විරාමය කඩ කිරීම ගැන ට්‍රම්ප් අප්‍රසාදය පළ කරයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකම සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව එම රටවල් දෙක කෙරෙහිම තම අසතුට පළ කරන බවත්, ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි ද අප්‍රසාදය පළ කරන බවයි සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

බෝම්බ හෙළීම නවත්වන ලෙසද, ගුවන් නියමුවන් වහාම නැවත ගෙන්වා ගන්නා ලෙසද, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල නොකරන ලෙසද ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා එම සටහන පළ කර තිබෙනවා.